බෙදීම් දුරලා, වෙනස්කම්වලට ගරු කරමු - සුනිල් විජේසිරිවර්ධන

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකරනු වස් එකිනෙකාගේ හර පද්ධති බෙදාහදාගැනීමේ සංවිධිත ක්‍රියාවලියක් අවශ්‍ය බව කලා සංස්කෘතික ඒකකයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පවසයි.

බෙදීම් දුරලීමට එය අත්‍යවශ්‍ය සාධකයක් බව කී ආචාර් විජේසිරිවර්ධන, "මිනිස්සු වශයෙන් අපි වෙනස්. සංස්කෘතීන් බැලුවහමත් එකිනෙකට වෙනස් දේවල් ගොඩක් අපේ රටේ තියෙනව. අපිට එච්චර ලේසියෙන් බේරෙන්න බෑ අපි දෙමළ, සිංහල වශයෙන් සංස්කෘති නම් කරලා. මොකද ඒවා ඇතුලේත් උප සංස්කෘතීන් තියෙනවා." යැයි සඳහන් කළේ ශ්‍රී ලංකාවට කලා, සංස්කෘතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ අධ්‍යයන චාරිකාවක් අතරතුර ලන්ඩනයේ බීබීසී සංදේශය මැදිරියේදී අදහස් දක්වමිනි.

"අනිත් එක කවුරු හරි හිතනවා නම් එක සංස්කෘතියක් සම්පූර්ණයෙන් අනෙක් සංස්කෘතියෙන් වෙනස් කියල ඒකත් වැරදියි." (සාකච්ඡාවට සවන්දෙන්න)

එහෙත් එම තත්ත්වය ප්‍රසිද්ධියේ පිළිගෙන අවශ්‍ය සංශෝධන දියත් කිරීමට සමාජයේ බියක් පවතින බව ඔහු පෙන්වා දුණි.

"වෙනස්කම් නැත්නම් අපිට බෙදා හදාගන්න දෙයක් නෑ." යනුවෙන් පැහැදිලි කළ ඔහු, සිංහල උරුමය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් භාවිත කරන 'උරුමය' යන වචනය දෙමළ භාෂාවෙන් බිඳී ආ එකක් බව උදාහරණ ලෙස ගෙන හැර දැක්වීය.

'බෙදීම් සහ බලය'

බෙදීම් දුරලා, වෙනස්කම්වලට ගරු කරමු - සුනිල් විජේසිරිවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"අපේ අවුල තියෙන්නේ බෙදීම් නිසා. ඒක සම්පූර්ණයෙන් වෙනස් දෙයක් වෙනස්කම්වලට වඩා. භේදයක් හැම තිස්සෙම බලය හා සම්බන්ධයි." යැයි කියා සිටි ආචාර් සුනිල් විජේසිරිවර්ධන, පසුගිය පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ පැවති 'දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමය' තුළ රටේ සංස්කෘතියේ ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම නොතකා හැර තිබූ බව පැවසීය.

විශේෂයෙන්ම රටක් දරුවා වෙනුවෙන් වෙන්කරන අවකාශය ඒ රටේ සැබෑ සංවර්ධනය පිළිබිඹු කෙරෙන කැඩපතක් බව ද ඔහු පෙන්වා දුණි. (සාකච්ඡාවට සවන්දෙන්න)

පරාක්‍රම නිරිඇල්ල සමඟ එක්ව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ශ්‍රී ලංකාවට කලා, සංස්කෘතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ නිරතව සිටින්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය සහිතව ය.

ඒ උත්සාහයට අදාළව ලොව පුරා රටවල හැඩ ගැසීම් පිළිබඳව තමන් හැදෑරීමක් කළ බව පවසන ආචාර්ය විජේසිරිවර්ධන, විශේෂයෙන්ම දරුවා පරිසරයට, ලෝකයට හුරු කිරීමේ අරමුණින් හතර වන ශ්‍රේණිය දක්වා ජපානයේ දරුවන් කිසිදු විෂයයක් නොහදාරන බව තමන්ට දැනගන්නට ලැබුන බව පෙන්වා දුන්නේය.

"අපේ දෙමවුපියෝ නර්සරි එකේ ඉඳලා ළමයින්ට මනුස්සයෝ වෙන්න දෙන්නේ නෑ, විෂයයන් උගන්වනවා," ඔහු පැවසුවේ මඳ සිනහවකින් මුව සරසා ගනිමිනි.