යේමනයේ බෝම්බ ප්‍රහාරයකින් හමුදාවේ හතළිහක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP
යේමනයේ දකුණු දිග කලාපයේ පිහිටි ඇඩෙන් වරාය නගරයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් හතළිස් දෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ.
ප්‍රහාරයට ලක් වී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.
හමුදා කඳවුරක් අසල සිය වේතන ලබා ගැනීම සඳහා පෙළ ගැසී සිටි සෙබළුන් පිරිසක් ප්‍රහාරයේ ඉලක්කය බවට පත් වී තිබේ.
යේමනයේ හමුදා සාමාජිකයන් ඉලක්ක කරමින් මෑත කාලය තුළ ප්‍රහාර මාලාවක් දියත් විය.
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් යේමන ආණ්ඩුවේ පාලනයේ පවතින ඇඩෙන් නගරයට සතියකට ඉහතදී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කරන ලද අතර ඉන් හමුදා සෙබළුන් පනස් දෙනෙක් මරුමුවට පත් වූහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මේ අතර ඉරානයේ සහාය ලබන ෂියා හුති කැරලිකරුවන් විසින් 2014 වසරේදී යේමනයේ සනා අගනුවර අල්ලා ගනු ලැබූ අතර ආණ්ඩුවේ හමුදා අගනුවර බලය නැවතත් සියතට ගැනීමේ උත්සාහයක යෙදී සිටිති.
ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සහාය ලබන සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය ගුවන් ප්‍රහාර එල්ල කරමින් යේමන ආණ්ඩුවේ හමුදා වෙත සහාය දක්වති.
යේමනයේ පතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ වාසි ලබා ගන්නා අයිඑස් සහ අල් කයිඩා සංවිධාන එරට දකුණු දිග කලාපයේ බලය තර කර ගැනීමේ උත්සාහයක යෙදී සිටිති.
එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව යේමනයේ පවතින ගැටුම්වලට මැදි වී පුද්ගලයන් හත්දහසක් පමණ මරුමුවට පත් වී ඇති අතර ඉන් වැඩි දෙනෙක් සාමාන්‍ය වැසියෝ වෙති.











