ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට යහපාලන ආධාර

එම්සීසී යේ ප්‍රධාන විධායක නිලධාරිනී ඩනා ජේ හයිඩ්

ඡායාරූප මූලාශ්‍රය, MCC

ඡායාරූප ශීර්ෂ වැකිය, "දූෂණයට එරෙහිව ක්‍රියාකිරීමේ සිට කාන්තා අයිතීන් සහ නීතියේ ආධිපත්‍යයට ගරුකිරීම දක්වා වූ යහපාලන ප්‍රමිතීන් කෙරෙහි කැපවන සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ හවුල්කරුවන් ලෙසින් ක්‍රියාකරමින් දිළිඳුකම පිටුදැකීමේ සහ ජන ජීවිත නගා සිටුවීමේ හැකියාව උපරිමය දක්වා වැඩිකරන්නෙමු"

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දිරි දීම සහ දිළිඳුකම පිටුදැකීම පිණිස ඉදිරි වසර පහ ඇතුලත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනකට විශේෂ ප්‍රතිපාදන ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.

එක්සත් ජනපදයේ Millennium Challenge Corporation (MCC) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ සතිය මුලදී ඉහත තීන්දුවට එළැඹුණු බව කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"ශ්‍රී ලංකාව සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ දශක හයක සංවර්ධන සහයෝගිතාවයට එම්සීසී යේ මෙම ප්‍රතිපාදනය විශාල රුකුලක්," බව ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් පවසයි.

යහපාලනය

බුර්කිනා ෆාසෝ සහ ටියුනීසියාව ඉදිරි වසර පහ ඇතුලත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්හි විශේෂ ප්‍රතිපාදන ලැබෙන අනෙක් රටවල් දෙකයි.

PM Wickramasinghe and President Sirisena

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මානව සම්පත් වෙනුවෙන් කෙරෙන ආයෝජන සහ ආර්ථික නිදහස මෙම ප්‍රතිපාදන ලබාදීම පිණිස මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සලකා බලන නිර්ණායක වේ.

"දූෂණයට එරෙහිව ක්‍රියාකිරීමේ සිට කාන්තා අයිතීන් සහ නීතියේ ආධිපත්‍යයට ගරුකිරීම දක්වා වූ යහපාලන ප්‍රමිතීන් කෙරෙහි කැපවන සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ හවුල්කරුවන් ලෙසින් ක්‍රියාකිරීම මගින් දිළිඳුකම පිටුදැකීමේ සහ ජන ජීවිත නගා සිටුවීමේ අපේ හැකියාව උපරිමය දක්වා වැඩිකරන්නෙමු," යනුවෙන් එම්සීසී යේ ප්‍රධාන විධායක නිලධාරිනී ඩනා ජේ හයිඩ් පවසයි.

දෙවැනි වටය

එම්සීසී මූලික වැඩසටහනට 2015 දෙසැම්බරයේදී තෝරාගන්නා ලද ශ්‍රී ලංකාව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් ක්‍රමානුකූල වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් අනතුරුව 'Compact' දෙවැනි වටයට තෝරා ගන්නා ලද බවත් නිවේදනයේ සඳහන් වේ.

ටියුනීසියාවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්හි 'Compact' හවුල්කරුවකුවන අතර, 2014 ජුලි මාසයේදී 'Compact' වැඩසටහන සම්පූර්ණ කළ බුර්කිනා ෆාසෝ, 2015 දී නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව රටේ ප්‍රතිපත්තිවල ප්‍රබල ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් MCC ආයතනය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සහ බුර්කිනා ෆාසෝ හි ආර්ථික වර්ධනයට බාධා වන අංශ සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සොයා බලන මෙන් MCC අධ්‍යක්ෂ මණ්ඩලය නිර්දේශ කර තිබේ.