"ඇයි එකම පාසලේ බුදුමැදුර, පල්ලිය, කෝවිල හදන්න බැරි?"

"බෞද්ධ ළමයි විතරයි සමහර පාසල්වලට බඳවා ගන්නේ. සමහර පාසල්වලට කතෝලික විතරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, "බෞද්ධ ළමයි විතරයි සමහර පාසල්වලට බඳවා ගන්නේ. සමහර පාසල්වලට කතෝලික විතරයි"

ආගම පදනම්කර ගනිමින් පාසල් වර්ගීකරණයකර තිබියදී ජාතික සංහිඳියාවක් ඇතිකළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් පවසයි.

පාසල්වලට ළමුන් බඳවාගැනීමේදී එකම චක්‍රලේඛයක් ඇතිබව රජය පවසන නමුත් බොහෝ පාසල් බෞද්ධ, මුස්ලිම්, හින්දු සහ ක්‍රිස්තියානි වශයෙන් වර්ග කර ඇති හෙයින් අදහන ආගමට අනුව එම නීතිය වෙනස්වන බව මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද (දෙසැ. 08) පාර්ලිමේන්තුව අමතමිනි.

කතෝලික පාසල් වෙනම, බෞද්ධ පාසල් වෙනම තියාගෙන ජාතික සමගිය ඇතිකරන්න බැහැ.
ඡායාරූප ශීර්ෂ වැකිය, "කතෝලික පාසල් වෙනම, බෞද්ධ පාසල් වෙනම තියාගෙන ජාතික සමගිය ඇතිකරන්න බැහැ"

යහපාලනය

"බෞද්ධ ළමයි විතරයි සමහර පාසල්වලට බඳවා ගන්නේ. සමහර පාසල්වලට කතෝලික විතරයි. ඒ අනුව ප්‍රතිශත තියෙනවා. ඉස්කෝලේ ඉස්සරහම හිටියත් සියයට එකයි දෙකයි බඳවා ගන්නේ. සමහර වෙලාවට එහෙමත් නැහැ." යනුවෙන් මන්ත්‍රී විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් ආරම්භ වියයුතු බවය.

"යහපාලනය කියන්නේ මේ භේද නැති කරන එක. කතෝලික පාසල් වෙනම, බෞද්ධ පාසල් වෙනම තියාගෙන ජාතික සමගිය ඇතිකරන්න බැහැ. පුංචි කාලේ ඉඳලම මේ දරුවන්ගේ මනසට ලැබෙන්නේ මේ ආගමික භේදය. ඇයි එකම පාසලේ බුදුමැදුර, කතෝලික දේවස්ථානය, හින්දු කෝවිල, ඉස්ලාම් පල්ලිය හදන්න බැරි?" යනුවෙන් ඔහු පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කළේය.