ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉතිරි මිලියන දාහ කොහෙද ගියේ? - අර්ජුණ
ඩොලර් මිලියන 1347ක් වැයකර ඉදිරකර තිබෙන හබන්තොට වරායට වැයවූයේ ඩොලර් මිලියන 400ක පමණ මුදලක් බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය පිලිබඳව විමර්ශනයක් ආරම්භ කල යුතු බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග පවසයි.
අද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිහිපයක්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කර ඇති බවය.
'මිලියන 1000 කොහේද ගියේ'
"පසුගියදා දිනක නාමල් රාජපක්ෂ මහත්තයා කියලා තිබුණා හම්බන්තොට වරාය හදන්න ගියේ ඩොලර් මිලියන 400 යි කියලා. නමුත් අපේ පොත්වල එම මුදල ඩොලර් මිලියන 1347ක් විදියටයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඩොලර් මිලියන 1000කට කිට්ටු ගාණක් ගැන මේ නාමල් රාජපක්ෂ මහත්තයා දන්නේ නැහැ. මම ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් සොයා බලන්න. ඉතිරි ඩොලර් මිලියන 1000 කොහේද ගියේ" යනුවෙන් ඔහු පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරායේ සේවකයන් අස්කරන ලෙස නියෝග කර ඇති බවට තමන්ගේ නමද සම්බන්ධ කර ගෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයද අසත්‍ය බව අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
රැකියා ස්ථිරත්වය
"අපි චීන සමාගම සමඟ වරාය අධිකාරිය පැත්තෙන් ගිවිසුම හදනකොට අපේ පළමු ඉල්ලීම වුණේ මේ රැකියාවල සුරක්ෂිත බව. අමතක කරන්න එපා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ තමයි මාගම්පුර වරාය හැදුවේ. මේ ළමයින්ට ආදරයක් තිබුණා නම් මහින්ද රාජපක්ෂ මහත්තයට තිබුණා මේ අයව වරාය අධිකාරියේ සේවකයින් ලෙස බඳවා ගන්න. නමුත් ඔවුන් එහෙම කළේ නැහැ. මාගම්පුර කියලා වෙනම සමාගමක් හදලා ඒකට තමයි මේ අය බඳවා ගත්තේ. ඒකත් ස්ථීර පත්වීමක් නැතුව" යනුවෙන් පැවසූ අමාත්‍ය අර්ජුන රණතුංග ඉදිරියේදී ඇති කරන සමාගමට මේ තරුණ පිරිස අනුයුක්ත කිරීමට කටයුතු කරන බව පැවසූ අතර එය කඩාකප්පල් කර මේ තරුණ පිරිස අතරමං කිරීමට සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටින බව පැවසීය.
ඒ සංවිධානාත්මක පිරිසට අනුව මේ තරුණ පිරිස ඉදිරියටත් කටයුතු කළොත් ඔවුන්ගේ රැකියා ස්ථිරත්වය ගැන තමන්ට එකග වීමක් කල නොහැකි බවද ඔහු මෙහිදී සඳහන් කළේය.