නවක වදය: නැගෙනහිර වෛද්‍ය පීඨයේ පන්ති තහනමක්

Published
නවක වදයට සම්බන්ධ වීමේ චෝදනා මත නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවන සහ තුන්වන වසරේ සියලුම සිසුන්ගේ පන්ති නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇත.
නවක වදය සඳහා සහයෝගය දීම සහ ඒ බව පරිපාලනයට දැනුම් නොදීම යන චෝදනා මත පළමු වසරේ සිසුන් දහසය දෙනෙකුට ද එම පන්ති තහනම සති තුනක කාලයක් බලපැවැත්වෙන පරිදි පැනවීමට බලධාරීහු තීරණය කළහ.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ට නවක වදය පිළිබඳව එල්ල වූ චෝදනාවක් මත මෙවැනි දඬුවමක් පැනවූයේ ප්‍රථම වතාවටය.
නවක වදයට ලක් කිරීමේදී බරපතළ සිදුවීම් ද වාර්තා වී ඇති හෙයින් මෙවැනි තීරණයක් ගත් බව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විනය පාලක මොහමඩ් අසාම් බීබීසී සංදේශයට පැවසීය.
පන්ති තහනමට ලක්වූ සිසුන් අද (නොවැ.27) මධ්‍යහ්න දොළහට පෙර නේවාසිකාගාරයෙන් ඉවත් විය යුතු බවට විශ්වවිද්‍යාල නිලධාරීහු දැනුම් දුන්හ.

























