මේ අයවැය ඒකාබද්ද විපක්ෂයට උදව්වක් - මහින්ද

මහින්ද
ඡායාරූප ශීර්ෂ වැකිය, මුදල් ඇමතිවරයා 'යන්නේ කොහේදැයි නොදැන' ක්‍රියාකරන බවයි ඔහු පවසන්නේ

මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදීමක් සිදුවී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

2017 වසර සඳහා රජය විසින් අද ඉදිරිපත්කළ අයවැය යෝජනා පිළිබඳව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"සමුපකාරයටත් බදු අයකරගෙන, ඉතිං ඊට වඩා කතා කරන්න දෙයක් නැහැනෙ" යනුවෙන් පැවසූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම යෝජනා ක්‍රියාත්මක වන විට ජනතාවට එය දැනෙනු ඇති බවය.

මුදල් ඇමතිවරයා 'යන්නේ කොහේදැයි නොදැන' ක්‍රියාකරන බව පැවසූ මහින්ද රාජපක්ෂ, මුදල් ඇමතිවරයා ආණ්ඩුවට 'ලණුවක්' දී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වා ඇතැයිද පැවසීය.

අයවැයට එරෙහිව ඡන්දය දෙන බවද යම් හෙයකින් එය පරාජය කිරීමට නොහැකි වුවත් ජනතාව එයට නිසි පිළිතුරු ලබාදෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුධය පිළිබ්ඹුවන අයවැයක්

අපරට මුහුණ දී තිබෙන ගැඹුරුතම ආර්ථික අර්බුධය මෙවර අයවැයෙන් පිළිබිඹුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

"පසුගිය නොවැම්බර් මාසයේ පලමුවැනිදා සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළත්ව රටේ ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් ගණනාවකට බදු පැනවීමක් හරහා තමයි ආණ්ඩුව මුදල් උපයාගන්න බලාපොරොත්තු වුණේ. මෙම අයවැය ලේඛනය හරහාත් මෙතෙක් පනවා නැති ක්ෂේත්‍ර සඳහා බදු පැනවීම සඳහා යෝජනා කරලා තියනව" යනුවෙන් පැවසූ ඔහු විශාම වැටුප් අරමුදල හැරුණු කොට එක් එක් අමාත්‍යංශ වල, දෙපාර්තමේන්තු වල ඇති අනෙකුත් අරමුදල් සියල්ල භාණ්ඩාගාරයට ලබාගැනීමට යෝජනා කර ඇති බවට චෝදනා කළේය.

එසේම පසුගිය අයවැය ලේඛනයේ ඇතුළත් කර තිබූ කිසිවක් ගෙවුණු වසර තුළ ක්‍රියාත්මක වී නැති බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් ඒ කටයුතු සඳහා ලබාදුන් මුදල් නැවතත් භාණ්ඩාගාරය වෙත හැරී ගොස් ඇති බවත් එය හිතාමතා සිදුකළ ක්‍රියාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අයවැය ලේඛනය තවදුරටත් ආර්ථිකයේ උපාය මාර්ගයක් හෝ ඉදිරි දැක්මක් පෙන්වන්නක් නොව හුදු ලියවිල්ලක් පමණක් වී ඇති බවද පැවසීය.

ජනතාව මුලා කළ අයවැයක්

නව අයවැය පිළිබඳව සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේ මෙවර ඇය වැය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා සකස්කළ යෝජනාවලියක් බවය.

"ඉදිරි වසර තුනට වාරික හයකින් අපි ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ලබාගන්න ගිවිසුමකට ඇවිත් තියනව. එය කොටස් වශයෙන් දෙන්නෙ. එය දෙන්නෙ නියමයන් ඉෂ්ඨ කලොත් පමණයි. ප්‍රධාන නියමයන් තියනව හතරක්. රජයේ ආදායම වැඩි කරන්න ඕන. රජයේ වියදම අඩු කරන්න ඕන. අය වය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 03% මට්ටමට ගෙනෙන්න ඕන. මුදලේ අගය නිදහසේ තීරණය වෙන්න ඉඩ හරින්න ඕන" යනුවෙන් පැවසූ මන්ත්‍රීවරයා පැවසුවේ මේ මස 17 වැනිදාට මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම එන බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට ජනතාව මුලාකර ඇති බවයි.