2017 අයවැය: 'අරමුණ දුගී භාවය තුරන්කිරීම'

2017 අයවැය: සමෘධිය, ජන ඉසුරු වෙයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (නොවැ 10) පාර්ලිමේන්තුවේ දී 2017 අයවැය යෝජනාව ඉදිරිපත් කළේය.

මෙවර අයවැය යටතේ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සහ දුගී භාවය තුරන්කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යවරයා සිය අයවැය කතාව ආරම්භ කරමින් පැවසුවේය.

ත්‍රීරෝද රථ වෙනුවට විදුලි කාර් ආනයනය කිරීම දිරිගැන්වීමටත් විදුලි කාර් දහසක් ආනයන කිරීමේදී 50% පොලී සහනයක් ලබාදීමටත් 2017 වසර සඳහා වූ අයවැයෙන් යෝජනා කරයි.

ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට ලක්ෂ තුනක් දක්වා ණය ලබා ගැනීමට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙවර අයවැයෙන් ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සමෘද්ධි දීමනාව වෙනුවට ජන ඉසුරු ව්‍යාපෘතිය නමින් නව වැඩපිළිවෙළක් ස්ථාපනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කෙරිණි.

2017 අයවැය: සමෘධිය, ජන ඉසුරු වෙයි

ඡායාරූප මූලාශ්‍රය, EPA

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමැතිය ලද පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ට ලක්ෂ අටක් දක්වා ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඊට අමතරව පිළිගත් පෞද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා නව වැඩසටහනක් හඳුන්වා දීමටත් යෝජනා කර ඇති බව ඔහු පැවසුවේ.

පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට නොමිලේ පරිගණක (ටැබ්) ලබා දීමටත් අවුරුදු පහේ සිට දහනවය දක්වා දරුවන්ට ලක්ෂ දෙක බැගින් වූ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අයවැයේ යෝජනා කෙරෙයි.

ඊට අමතරව පිරිවෙන් ශිෂ්‍යයන් සඳහා මාසිකව රුපියල් දෙදහස් පන්සියයක දීමනාවක් ලබා දීමටත් බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා සිය කතාවේ සඳහන් කළේය.

සියලු වෙළෙඳසල් රාත්‍රී එකොළහවන තෙක් විවෘතව තබන ලෙස ඉල්ලීමක් කළ අමාත්‍ය කරුණානායක, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගත් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර පරිප්පු, මුංඇට, සුදු සීනි සහ ගෘහස්ථ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහත දැමීමටද අයවැයෙන් යෝජනා කර ඇත.

ඊට අමතරව දේශීය සහ විදේශීය ආයෝජන දිරි ගැන්වීමේ යෝජනා මාලාවක්ද මෙවර අයවැයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.