ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අමරදේව කේන්ද්‍රයක්' - ජනපතිගෙන් ප්‍රතිඥාවක්
දිවියෙන් සමුගත් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්ඩී අමරදේවයන්ගේ දැක්ම ඉදිරියට ගෙන යනු වස් අමරදේව කේන්ද්‍රයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙන පණ්ඩිත් අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවය අමතමිනි.
රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් එක් වී සිටිති.
පණ්ඩිත් අමරදේවයන් කිසිදිනක ජාතිවාදය හෝ ආගම්වාදය වෙනුවෙන් පෙනී නොසිටි බව අවමංගල්‍ය සභාව අමතමින් මහාචාර්ය සුනිල් ආරියරත්න පැවසීය.
ඒ හේතුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ග සහ ආගම්වලට අයත් රසික රසිකාවියන් ඔහු වටා රොද බැඳගත් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මේ අතර පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන අද (නොවැම්බර් 05) කොළඹ නගර සීමා බල ප්‍රදේශයේ සියලු සුරා සැල්, සිනමා ශාලා සහ මස් අලෙවිසැල් වසා දැමිය යුතු බව රජය දැනුම්දී තිබේ.