ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උතුරු නැගෙනහිර මහ ඇමති මුස්ලිම් වුවත් පිළිගැනීමට සූදානම් - සම්බන්ධන්
උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව ඒ සඳහා පත් වන මහ ඇමතිවරයා මුස්ලිම් ජාතිකයකු වුවත් තමන් එය පිළිගැනීමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් පවසයි.
විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ සමාජීය, සංස්කෘතික ගුණාංග සහ අයිතීන් සුරැකීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බව යළි අවධාරණය කරමින්.
'මෙය මහ ඇමති ධුරයට අදාළ ප්‍රශ්නයක් නොවෙයි. මහ ඇමති මුස්ලිම්ද?, දෙමළද? කියන කාරණය ප්‍රශ්නයක් නොවෙයි. දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ආගම, කලාව, සංස්කෘතිය, පාරම්පරික සම්ප්‍රදාය ඇතුළු අයිතීන් සුරැකීම සඳහා උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය බව අපි අවධාරණය කරනවා,' මඩකලපුවේ පැවති නැගෙනහිර පළාත් දෙමළ සාහිත්‍ය උළෙල අමතමින් ඔහු පැවසීය,
උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන්නේ නම් ඒ තුළ කිසිදු ජන කොට්ඨාශයකට අසාධාරණයක් සිදු නොවනු ඇති බවටත් විපක්ෂ නායකවරයා විශ්වාසය පළ කළේය.
ජාතික ගැටලුව
'අපි සමග ජීවත් වන මුස්ලිම් හා සිංහල ජනතාව සෑහීමකට පත් වී ජීවත් විය යුතුයි. ඒ ජනතාවගේ අයිතීන් සුරැකිය යුතුයි. ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු සියලු අවශ්‍යතා ඉටු කරන්න අපි කැමැත්තෙන් සිටිනවා,'
ඒ හා සම්බන්ධ කරුණු සැලකිල්ලට ගෙන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් තුළින් ජාතික ගැටලුවට විසඳුම් සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
යම් කිසිවකු විසින් තවත් අයකු රවටා විසඳුම් සෙවිය නොහැකි බවත් සියලු දෙනා එක් වී සමගියෙන් හා අවබෝධයෙන් තීන්දු තීරණවලට පැමිණිය යුතු වැදගත් කාලයක් එළඹ ඇති බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් වැඩිදුරටත් පැවසීය.