අතුරුදහන්වූවෝ: OMP කාර්යාලයට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

ඡායාරූප මූලාශ්‍රය, Vikalpa.org
අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමේ කාර්යාලය (OMP) පිහිටුවීම සම්බන්ධ පනත සම්මත කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පල කරන ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, කෙසේ නමුත් දැනට දියත්ව තිබෙන ජනතා අදහස් විමසීමේ ක්‍රියාදාමය අවසානයේ සකස් කළේ නම් එයට දැනට වඩා නීත්‍යානුකූලභාවයක් හිමිවිය හැකිව තිබුණු බවත් සඳහන් කරයි.
ජාතික මානව හිමිකම් කොමිසම ඒ බව පවසන්නේ එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින්.
OMP කාර්යාලය පිහිටුවීම සම්බන්ධ පනත පසුගියදා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණු නමුත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය එයට දැඩි විරෝධය පළ කරයි.
අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන්නේ සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය සහ එයට අනුබද්ධ ප්‍රාදේශීය බලකායන් තවමත් රටපුරාම ජනතා අදහස් විමසමින් සිටින අතරවාරයේ.

ඡායාරූප මූලාශ්‍රය, Consultation Task Force
එබැවින් අනාගතයේ එවැනි ක්‍රියාදාමයක් සකස් කරන විට වින්දිතයන් ඇතුළු අදාළ වාතාවරණයට ගොදුරු වූ පුද්ගලයන්ගේ අදහස්ද ඇතුලත් කිරීමේ වැදගත්කම ජාතික මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
විශේෂයෙන්ම OMP කාර්යාලය පිහිටුවීම සම්බන්ධ පනත පිළිබඳව නොමඟ යවන සුළු සහ අසත්‍ය තොරතුරැ පැතිර යමින් පවතින බව පෙන්වාදෙන කොමිසම පවසන්නේ, එබැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාදාමයක හදිසි අවශ්‍යතාවයක් මේ මොහොතේ පැන නැගී තිබෙන බවයි.
ජනතාව දැනුවත් කිරීමේ එම ක්‍රියාදාමය රටේ භාවිතා වන භාෂා තුනෙන්ම ක්‍රියාවට නැගීමේ අවශ්‍යතාවයත් ජාතික මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
කොමිසම පෙන්වාදෙන අනෙක් ප්‍රධාන කරුණු අතර:
- OMP කාර්යාලයේ සංයුතිය මගින් ශ්‍රී ලංකාවේ බහුවිධ ස්වභාවය නිරූපණය විය යුතු බව
- එහි ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ජනකොටස්, විවිධ ජනවර්ගයන් මෙන්ම ස්ත්‍රීන්ටද නිසි නියෝජනයක් හිමිවිය යුතු බව
- කාර්යාලයේ නිලධාරීන් ඉතා අවංක සහ කිසිදු මානව හිමිකම් උල්ලංඝනයක් සම්බන්ධයෙන් චෝදනා නොලැබූවන් විය යුතු බව
- ඔවුන්ට රටේ භාවිත කෙරෙන භාෂා පිළිබඳ නිසි පරිචයක් තිබිය යුතු බව
- බොහෝ පැමිණිලි ඉදිරිපත් වන්නේ කාන්තාවන්ගෙන් බැවින්, කාන්තාවන් කෙරෙහි සංවේදීවීම පිළිබඳව එම නිලධාරීන්ට පුහුණුවක් ලබාදීම
- OMP කාර්යාලයේ කටයුතු විනිවිද පෙනෙන සුළු ස්වභායකින් පවත්වාගෙන යාම
- මානසික පීඩාවෙන් පෙලෙන පුද්ගලයන්ට අවශ්‍ය නම් ආධාර කිරීම සඳහා පුහුණු විශේෂඥයන් යොදාගැනීම
- විශේෂයෙන්ම වින්දිතයන් යළිත් වරක් මානසික පීඩාවන්ට ලක්වීම හැකිතරම් අවම කිරීමට කටයුතු කිරීම
- අතුරුදහන්වූවන් පිළිබඳව නොදුටු සහතික (Certificate of Absence -COA) ලබාදීමේදී තමන්ට හිමිවන අයිතීන් පිළිබඳව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීම
- අපරාධවලට ගොදුරුවූවන් සහ සාක්ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ ඒකකයක් පිහිටුවීම
එමෙන්ම අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමේ (OMP) කාර්යාලය තමන්ට අයත්වූවක්ය යන්න රටේ මහජනතාවට ඒත්තු ගැන්විය යුතු බව සඳහන් කරන මහාචාර්ය දීපිකා උඩගම, ඒ සඳහා නිසි සන්නිවේදන මූලෝපායයක් මෙන්ම ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමේ අවශ්‍යතාවයත් සිය නිවේදනයේ පෙන්වා දී තිබේ.
කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යාමේදී එයට ලැබෙන තොරතුරු එකතුකොට දත්ත ගබඩාවක් සකස් කිරීම මෙන්ම එම තොරතුරු සංරක්ෂණය කිරීමත් කොමිසමේ තවත් නිර්දේශයක්.











