මන්ත්‍රී වාහන බලපත්: අධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සදහා තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට රජය ගෙන ඇති තීන්දුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.

නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වග උත්තර කරුවන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

පෙත්සම්කරු පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට සුඛෝපභෝගී වාහන ලබා දීම වෙනුවෙන් තීරුබදු රහිත වාහන මිලදී ගැනීම සදහා බලපත්‍ර ලබාදීම හේතුවෙන් රටට අවම වශයෙන් රුපියල් මිලියන දහසකට අධික පාඩුවක් සිදුවන බවයි.

රට ප්‍රබල ආර්ථික පසුබෑමකට ලක්ව සිටින අවස්ථාවක මේ ආකාරයෙන් මුදල් අවභාවිතාවට ලක් කිරීම ගැටළු සහගත බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

එම නිසා රජයේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන්ද එම පෙත්සමෙන් ඉල්ලා සිටියි.