ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තාජුදීන් ඝාතනය: 'අනුර සේනානායක රියදුරුගේ සාක්ෂියට බලපෑම් කරලා'
වසීම් තාජුදීන් ඝාතනයට සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තමන්ට වාසිදායක ලෙස සාක්කි ලබාදෙන මෙන් ඔහුගේ රියදුරාට බලපෑම් කර ඇති බව රජයේ නීතිවේදියා අධිකරණය හමුවේ පැමිණිලි කළේය.
තාජුදීන් ඝාතන නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදී රජයේ නීතිවේදියා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි අගතියට පත් පාර්ශවයේ නීතිවේදී මිශ්බාක් සත්තාර් කියා සිටියේ.
අනුර සේනානායක වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා වකුගඩු රෝගාබාධයකින් පෙලෙන බැවින් එය සුවිශේෂ කරුණක් සේ සලකා ඔහුට ඇප නියම කරන ලෙසයි.
ඊට විරෝධය පලකළ රජයේ නීතිවේදියා තර්ක කළේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප ලබා දීමෙන් සාක්කිකරුවන්ට බලපෑම් එල්ල වන බව බවයි.
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ දැනට තමා හමුවට ඉදිරිපත් වී ඇති කරුණු වලට අනුව ඇප ලබාදීමට හැකියාවක් නොමැති බවයි.
ඊට අමතරව තාජුදීන් ඝාතනයට සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මෙම සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් කිරීමට සුදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීම හෙට දිනයෙදී සිදු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාරයට උපදෙස් ලබා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 23 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.