ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගංවතුර සහ නාය යාම්: 'ලක්ෂ හතරක් පීඩාවට පත් වෙලා'
ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක ගණනාවකට බල පෑ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් ලක්ෂ හතරකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණය නිසා 64 දෙනකුවත් මරුමුවට පත්ව ඇති අතර 29 දෙනකු තුවාල ලබා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ.
තවත් 131 දෙනකු අතුරුදහන්ව සිටින අතර නිවාස 354 ක් විනාශ වී තිබේ.
'ඉවත් වෙන්න'
අරණායක නාය යාමෙන් අනතුරුව අතුරුදහන්ව සිටින පිරිස අතරින් කිසිවෙකුත් පණපිටින් බේරා ගැනීමේ අපේක්ෂා පහවෙමින් පවතින බවයි බේරාගැනීමේ කටයුතු භාරව සිටින මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මීට ඉහතදී බීබීසී සිංහල සේවයට කියා සිටියේ.
අවතැන් වූ 319,507 දෙනකු ආරක්‍ෂිත ස්ථාන 602 ක තාවකාලිකව රඳවා සිටින බව පවසන ප්‍රදීප් කොඩිප්පිලි, හදිසි මෙහෙයුම් කටයුතු දිගටම ක්‍රියාත්මක වන බවත් පවසයි.
විශේෂයෙන්ම කඳුකරයේ ජනතාව සහ කැළණි ගඟේ පහත් ප්‍රදේශවල සිටින ජනතාව නාය යාමේ ලක්ෂණ සහ ගඟේ ජල මට්ටම පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.
"කඳුකරයේ ජනතාව නාය යෑම් ලක්ෂණ දුටු වහාම ඉවත්වීම ඉතාමත්ම සුදුසුයි," ඔහු පැවසීය.
බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් තත්වය තවමත් සම්පූර්ණයෙන්ම පාලනය වී නැති අතර, කොළඹ ප්‍රදේශයේ දිගටම කඩින් කඩ වැසි පවතින නමුත් කැළණි ගඟේ ජල මට්ටමේ දැනට විශේෂ වෙනසක් දක්නට නැති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.