
සංචාරයේ අරමුණ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය විමර්ශනයට ලක් කිරීම බව විචාරකයන්ගේ මතයයි
ජාත්‍යන්තර නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව සිටි සිවු දෙනා මේ මොහොතේ "ශ්‍රී ලංකාවට පැමිණීමට නුසුදුසු පිරිසක්" ලෙසින් තීරණය කළ බව බලධාරීහු පවසති.
ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා ඒ බව පැවසුවේ ජාත්‍යන්තර නීතිඥ සංගමයට අනුබද්ධ මානව හිමිකම් සම්බන්ධ ආයතනයේ (ඉබාරි) නියෝජිත පිරිසකට වීසා බලපත් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නාල්ලුසාමි කළ විමසීමකදී.
හිටපු ඉන්දීය අගවිනිසුරු ජේ එස් වර්මා ගේ ප්‍රධානත්වයෙන් එම දූත පිරිස පෙබරවාරි පළමුවැනි දින සිට පෙබරවාරි දස වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබිණ.
ශ්‍රී ලංකාවේ නීතිඥ වෘත්තියට අදාළ වාතාවරණය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව කරුණු විමසා බැලීම දූත පිරිසේ සංචාරයේ අරමුණ බව ඉබාරි ආයතනය පවසන අතර, එහි ප්‍රධාන අරමුණ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය විමර්ශනයට ලක් කිරීම බව විචාරකයන්ගේ මතයයි.
"මේ වෙලාවේදී ලංකාවට පැමිණීම නුසුදුසුය කියන තීරණය මත අපි ඒගොල්ල ලංකාවට එන්න පෙරාතුව ඒගොල්ල වීසා අයදුම් කරපු මාධ්‍යය ඔස්සේම දැනුවත් කරලා තියෙනවා මේ මොහොතේ ලංකාවට එන්න එපාය කියන එක," චූලානන්ද පෙරේරා ආගමන විගමන පාලකවරයා පැවසීය.
වීසා බලපත්‍ර නිකුත් කිරීමේන අනතුරුව පවා ඒ පිළිබඳව යලි සලකා බැලීමට අදාළ රටට අයිතියක් තිබෙන බව ද ඔහු සඳහන් කළේය.












