ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩාංගනයේ තෙරපීම: දුර්වල ප්‍රේක්ෂක පාලනය ලොව දරුණුතම ක්‍රීඩාංගන ව්‍යසනයට තුඩු දුන් ආකාර

Lit candles are left as a tribute to the victims of the football disaster in Indonesia

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෑතකාලීන දරුණුම පාපන්දු ක්‍රීඩාංගණ ව්‍යසනය ඔක්තෝබර් 1 වැනිදා ඉන්දුනීසියාවේ දී සිදු විය

නැගෙනහිර ජාවා හි මේ වන විට පුද්ගලයින් 125 දෙනෙකු මිය ගොස් ඇති අතර එය පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ දරුණුතම ව්‍යසනයන්ගෙන් එකකි.

නමුත් ඔක්තෝබර් 01 සෙනසුරාදා කන්ජුරුහාන් ක්‍රීඩාංගණයේ විශාල ජීවිත හානියක් කළ එම සිදුවීමට බොහෝ සෙයින් සමාන ඛේදවාචක තවත් තිබේ. ඒ බොහොමයක් ක්‍රීඩාංගණ ව්‍යසනයන්හී පොදු කරුණක් වන්නේ ප්‍රේක්ෂකයින් ආරක්ෂා කිරීමට සෙනඟ පාලනය කිරීමෙහිලා ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වීමයි.

පේරු හි එස්තාදිඔ ජාතික ක්‍රීඩාංගණය (1964)

Man carrying injured boy

ඡායාරූප මූලාශ්‍රය, Peruvian Institute of Sport

ඡායාරූප ශීර්ෂ වැකිය, 1964 දී ලිමා හී එස්තාඩිඔ නැෂනල් හි 320 කට අධික පිරිසක් මිය ගියහ

පේරු සහ ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම් අතර පැවති තරගයක දී සත්කාරක කණ්ඩායමේ ගෝලයක් අනුමත නොකිරීම හේතුවෙන් කැළඹිළි තත්ත්වයක් ඇත් වී පුද්ගලයින් 300 කට අධික පිරිසක් මිය ගියහ.

1964 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ තරගය අතරතුර පේරු ක්‍රීඩා ලෝලීන් තණතීරුව ආක්‍රමණය කළ අතර, පොලිසිය පිරිසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

පිටවීම් දොරටු අගුළු ලා තිබූ බැවින් ප්‍රේක්ෂකයින් පිටවීමට දැඩි උත්සහයක් ගැනීමේදී තෙරපීමක් ඇති විය.

මියගිය අයගේ නිල සංඛ්‍යාව 328ක් වුවද, ක්‍රීඩාංගනයෙන් පිටතදී ක්‍රීඩා ලෝලීන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම් වලදී වෙඩි ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව ඊට ඇතුළත් නොවූ හේතුවෙන් සත්‍යවශයෙන්ම එහිදී සංඛ්‍යාව එයට වඩා බොහෝසෙයින් වැඩිය.

"වෙඩි වැදී තුවාල හේතුවෙන් මිය යන පුද්ගලයන් පිළිබඳ ඇසින් දුටු සාක්ෂි රාශියක් තිබේ. නමුත් ව්‍යසනය විමර්ශනය කිරීමට පත් කළ විනිසුරු බෙන්ජමින් කැස්ටනෙඩාට එය ඔප්පු කිරීමට සිරුරු සොයා ගත නොහැකි විය," බීබීසී ක්‍රීඩා වාර්තාකරුවෙකු වන පියර්ස් එඩ්වර්ඩ්ස් 2014 දී ලියා තිබේ. ඛේදවාචකයේ 50 වැනි සංවත්සරය අනුස්මරණය කරන එම ලිපිය, තවමත් ලෝකයේ එවැනි ආකාරයේ සිදුවීම් අතර නරකම සිදුවීම ලෙස ශ්‍රේණිගත කරයි.

කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට අණ දුන් පොලිස්පති ජෝර්ජ් අසම්බුජාට මාස 30ක සිර දඬුවමක් නියම විය.

ඝානාවේ ඇක්රා ක්‍රීඩාංගණය (2001)

Belongings of the victims of the Ghana 2001 stadium crush lie on the floor

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඝානාවේ 2001 ව්‍යසනය නිසා 120කට වැඩි පිරිසක් මිය ගියහ

ඉතා ජනප්‍රිය කණ්ඩායම් දෙකක් වන හාට්ස් ඔෆ් ඕක් සහ අසාන්තේ කොටෝකෝ අතර 2001 මැයි මාසයේදී පැවති තරගයක දී ප්‍රතිවාදීන් පිටියට පැමිණීමට ප්‍රමාදවීම හේතුවෙන් කොටෝකෝ රසිකයින් කුපිත වී කෝලහලයක් ඇති විය. පොලීසිය ප්‍රතිචාර දැක්වූයේ කඳුළු ගෑස් වලිනි. රසිකයන් පිටවීම් දොරටු වෙත වේගයෙන් දිව ගිය ද ඒවා අගුලු දමා තිබුණි. මේ දක්වා සිදුවූ දරුණුතම අප්‍රිකානු පාපන්දු ව්‍යසනය වන මෙම අනතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගියහ.

"මම දැක්කා තරුණයන් බිම වැතිරිලා ඉන්නවා. මම කම්පාවට පත් වුණා. මට (මියගිය අය) ගණන් කරන්න බැරි වුණා," ඝානාවේ එවකට නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය ජෝ ඇග්‍රේ බීබීසීයට පැවසීය.

පමණ ඉක්මවා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පොලිසියට දොස් පැවරුණු අතර පොලිස් නිලධාරීන් හය දෙනෙකුට මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, 2003 නඩු විභාගයකදී ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලද අතර, උසාවියේ සිටි ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකාවක් වන ජෝයි එෆ්එම් හි වාර්තාකරුවෙකු වන පෝල් ඇඩොම් ඔචර්ට අනුව එය ඝානාවේ මහජනතාව බොහෝ දුරට නිවැරදි යැයි විශ්වාස කළ තීරණයක් විය.

"මහජනතාවට අවශ්‍ය ක්‍රීඩාංගනය ඉදිකළ අය, එය භාවිතයට ආරක්ෂිත යැයි කී ගොඩනැගිලි පරීක්ෂකවරයා සහ (ආපදාව සිදු වූ දින) පිටවීමේ දොරටු අගුළු දැමූ පුද්ගලයන්ට නඩු පවරන්නයි," ඔහු BBC Sport වෙත සඳහන් කළේය.

එක්සත් රාජධානියේ හිල්ස්බරෝ (1989)

Police, medical staff and fans on the pitch at Hillsborough

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1989 හිල්ස්බරෝ ව්‍යසනය බ්‍රිතාන්‍ය සහ යුරෝපීය පාපන්දු ක්‍රීඩාවේ ඓතිහාසික වෙනසක් සලකුණු කරන සිදුවීමක් විය

ලිවර්පූල් සහ නොටින්හැම් ෆොරස්ට් අතර FA කුසලාන අවසන් පූර්ව තරගයට පෙර දුර්වල ප්‍රේක්ෂක කළමනාකාරිත්වය හේතුවෙන් දැඩි වැටවල් සහිත හිල්ස්බරෝ ක්‍රීඩාංගණයේදී ලිවර්පූල් ක්‍රීඩා ලෝලීන් 96 දෙනෙකු තෙරපීම නිසා මිය ගියේය. එය ලොව දරුණුතම සහ ආන්දෝලනාත්මක පාපන්දු ව්‍යසනයන්ගෙන් එකක් විය.

ඇන්ඩෘ ඩේවින් තෙරෙපිමේදී ඇතිවූ ජීවිතාන්තය දක්වා ඔහුගේ ජීවිතය වෙනස් කරන තුවාල වලට ගොදුරු වූ අතර 2021 දී වයස අවුරුදු 55 දී මරණය බවට පත්විය. එය 97 වන මරණය බවට පත්විය.

පොලිසිය සහ බ්‍රිතාන්‍ය මාධ්‍ය අංශ මුලින් සිදුවීම් සම්බන්ධයෙන් රසිකයින්ට දොස් පැවරූ අතර ඔවුන් බීමත්ව සහ නොසන්සුන්කාරී ලෙස හැසිරීම පිළිබඳව චෝදනා කළහ. එම චෝදනා ඊළඟ දශක තුනක කාලයක් තුළ සිදු කරන ලද විමර්ශන මාලාවකට පසුව බැහැර කරන ලදී.

2016 දී ජූරි සභාවක් නිගමනය කළේ වින්දිතයන් නීති විරෝධී ලෙස ඝාතනය කර ඇති අතර ඒ මරණවලට රසිකයන්ගේ දායකතත්වයක් නොවූ බවයි.

නේපාලයේ දශරත් ක්‍රීඩාංගණය (1988)

1988 මාර්තු මාසයේදී නේපාලයේ අගනුවර පැවති කුසලානයකට තරගවැදීමක දී හිම කැට වැස්සක් ඇදහැලීම හේතුවෙන් නරඹන්නන් නොසන්සුන්තාවයට පත් විය.

ක්‍රීඩාංගනයේ වහළක් තිබූ එකම කොටස වෙත මිනිසුන් වහා දිව ගිය නමුත් පොලිසිය ඔවුන්ව පසුපසට තල්ලු කරන ලද අතර, පිටවීම් වෙත දිව ගිය ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට ලැබුණේ ඒවා අගුළු දමා ඇති ආකාරය යි.

පසුව ඇති වූ තෙරපීම් නිසා දුසිම් ගනනක් මිය ගියේය. නිල මරණ සංඛ්‍යාව 70 ක් වන නමුත් නේපාල මාධ්‍ය ඇස්තමේන්තු කරන්නේ පුද්ගලයින් 93 දෙනෙකුවත් එහිදී මිය යන්නට ඇති බවයි.

"මියගිය හා තුවාල වුණු අයගේ සෙරෙප්පු සහ සපත්තු තැනින් තැන විසිරී තිබුණා," එදින පිටියේ සිටි හිටපු ක්‍රීඩකයෙකු වන අනිල් රූපකේටි 2020 දී කත්මණ්ඩු පෝස්ට් පුවත්පතට පැවසීය.

ඊජිප්තුවේ පෝට් සේඩ් ක්‍රීඩාංගනය (2012)

A picture of the mayhem on the pitch at Port Said stadium in 2012

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2012 වසරේ පෝට් සේඩ් ක්‍රීඩාංගණයේදී අල් අහ්ලි ක්‍රීඩා ලෝලීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ආරක්ෂක අංශවලට චෝදනා එල්ල විය.

2012 පෙබරවාරි මාසයේදී ඊජිප්තු ක්‍රීඩා සමාජ වන අල් මස්රි සහ අල් අහ්ලි අතර පැවති ලීග් තරගයක් ලේ වැගිරීමකින් අවසන් විය. 3-1ක ජයග්‍රහණයෙන් පසුව, අල් මස්රි රසිකයින් ක්‍රීඩාංගනයේ අල් අහ්ලි රසිකයන් සිටි පසට කඩා වැදුණු අතර, පොලිස් නිලධාරීන් ක්‍රීඩාංගනයේ පිටවීමේ ගේට්ටු විවෘත කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් කොටු වී පහර කෑමට ලක් විය. මෙම දැවැන්ත කෝලාහලයේ ප්‍රතිඵලයක් ලෙස 74 දෙනෙකු මිය ගිය අතර, 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

පොලිස් නිලධාරීන් නව දෙනෙකු ඇතුළු 70කට අධික පිරිසකට චෝදනා එල්ල වූ අතර, මරණ දණ්ඩනය ද ඇතුළුව 47 දෙනෙකු වරදකරුවන් විය.

2011 මුල් භාගයේ ජනාධිපති හොස්නි මුබාරක්ට එරෙහි විරෝධතාවලදී "අල්ට්‍රා" ලෙස හැඳින්වෙන අල්-අහ්ලි ආධාරකරුවන් කොටසක්, ඔහු නෙරපීමට තුඩු දුන් විරෝධතාවල ප්‍රමුඛ භූමිකාවක් ඉටු කර ඇත.

මුබාරක්ගේ ආධාරකරුවන් පළිගැනීමක් ලෙස පෝට් සයිඩ්හී ප්‍රචණ්ඩත්වය උසිගන්වා ඇති බවට රසිකයෝ චෝදනා කළ අතර, ඔවුන් පවසන්නේ එය වැළැක්වීමට පොලිසිය එතරම් උනන්දුවක් නොගත් බවයි.

"එදා රෑ දැකපු දේවල් නිසා මම අදටත් හීනෙන් බය වෙනවා" අල්-අහ්ලි වෙනුවෙන් ක්‍රීඩා කළ බ්‍රසීලියානු පාපන්දු ක්‍රීඩක ෆේබියෝ ජූනියර් 2019 දී ESPN බ්‍රසීල් වෙත පැවසීය.

රුසියාවේ ලුෂ්නිකි ක්‍රීඩාංගණය (1982)

2018 වසරේ FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයට සත්කාරකත්වය දැක්වූ මොස්කව් ක්‍රීඩාංගණය වසර ගණනාවක් තිස්සේ වසන් කරන ලද ප්‍රධාන පාපන්දු ඛේදවාචකයකට හිමිකම් කියයි.

2018 වසරේ නවතම FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයට සත්කාරකත්වය දැක්වූ මොස්කව් ක්‍රීඩාංගණය වසර ගණනාවක් තිස්සේ වසන් කරන ලද ප්‍රධාන පාපන්දු ඛේදවාචකයකට හිමිකම් කියයි.

මීට වසර 40 කට පමණ පෙර, සෝවියට් සමූහාණ්ඩු යුගයේදී, ස්පාටැක් මොස්කව් සහ ලන්දේසි HFC Haarlem අතර යුරෝපීය ක්‍රීඩා සමාජ තරගයක් අවසානයේ ඇති වූ තෙරපීම හේතුවෙන් රසිකයින් විශාල සංඛ්‍යාවක් මිය ගියහ.

නිල මරණ සංඛ්‍යාව (66) හෙළි කරනු ලැබුවේ 1989 දී ය. එතෙක් එය සාමාන්‍ය සිදුවීමක් ලෙස නොසලකා හැර තිබුණි.

අධික ශීත කාලගුණය හේතුවෙන් තරගය පැවැත්වෙන දිනයේ අඩු සහභාගීත්වයක් තිබූ බැවින් ක්‍රීඩාංගනයේ එක් කොටසක ක්‍රීඩා ලෝලීන් බොහෝ සෙයින් පිරී සිටි බව සාක්ෂිකරුවන් වාර්තා කළේය.

"පොලිසියට සෙනඟ පාලනය කිරීම පහසු කරන්න එක් පිටවීමක් විතරයි විවෘත ‍කළේ," තරගයට සහභාගී වූ රුසියානු මාධ්‍යවේදියෙකු වන ඇලෙක්සැන්ඩර් ප්‍රොවෙස්ටොව් අල් ජසීරා වෙත පැවසීය.

"එය ලොකු අත් වැරැද්දක්."