ටෝකියෝ ඔලිම්පික්: මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා අවසන් තරඟයෙන් ඉවත් වූ රන් පදක්කම්ලාභිනිය

"මගේ මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කළ යුතු" බව, සිව් වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී සිමෝන් බයිල්ස් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම් අවසන් තරඟයෙන් ඉවත් වීමෙන් පසු පැවසුවාය.

ඇය නියෝජනය කරන ඇමරිකානු කණ්ඩායම රිදී පදක්කම දිනා ගනිමින් රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායමට පිටුපසින් සිටියි.

සිය ඉසව්වෙන් ලකුණු 13.766 ක් එනම් ඇය ඔලිම්පික් උළෙලකදී ලබාගත් අවම ලකුණු ප්‍රමණය ලබා ගැනීමෙන් පසුව 24 හැවිරිදි සිමෝනා තරගයෙන් ඉවත් වූවාය.

"මම මගේ මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. මම හිතන්නේ දැන් ක්‍රීඩාවේදී මානසික සෞඛ්‍යය බොහොම වැදගත්," ඇය කියා සිටියාය.

"අප කළ යුත්තේ අපගේ මනස සහ ශරීර ආරක්ෂා කර ගැනීම මිස පිටතට ගොස් ලෝකය අපෙන් බලාපොරොත්තු වන දේ කිරීම නොවේ."

බයිල්ස් මෙතෙක් එක්සත් ජනපදයේ බිහිවූ වඩාත්ම සාර්ථකම ජිම්නාස්ටික් ක්‍රීඩකයා/ක්‍රීඩිකාව වේ. ඇය 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත්තාය.

නමුත් ඇය ඉරිදා සුදුසුකම් ලැබීමේ වටයේ දී සිය උපරිම දක්ෂතාවය දැක්වීමට මහත් පරිශ්‍රමයක් දැරූ අතර බ්‍රහස්පතින්දා පැවති ඇගේ ආරම්භක තරඟයෙන් අනතුරුව අවසන් තරඟයෙන් ඇය ඉවත් විය.

පසුව ඇය මෙසේ පැවසුවාය: "මට දැන් ඉස්සර තරම් මා ගැන විශ්වාස නෑ. සමහර විට ඒක වයස වෙන්න පුළුවන්. හැම කෙනෙක්ම ඔබට ට්වීට් කරන කොට, සමහර වෙලාවට මුළු ලෝකෙම බර දැනෙනවා."

"අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොවේ. අපි දවස අවසානයේදී මිනිසුන්, සමහර විට ඔබට පසුබසින්න වෙනවා."

"එලියට ගිහිල්ල මෝඩ වැඩක් කරලා රිද්ද ගන්න මට ඕනේ වුනේ නෑ. බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ගැන කතා කිරීම ඇත්තෙන්ම උපකාරී උනා කියලා මට හිතෙනවා.

"මෙය දැවැන්ත තරගාවලියක්; මේක ඔලිම්පික්. ඒත් අන්තිමේ දි අපිව ලෙඩ ඇඳක තියාගෙන අරගෙන යනව දකින්න අපිට අවශ්‍ය නැහැ."

ජපාන ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා මැයි මාසයේ ඇගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රංශ විවෘත තරගයෙන් ඉවත් වූවාය. කැතරිනා ජොන්සන්-තොම්සන් සහ පැසිපන්දු ක්‍රීඩක ස්ටීවන් කරි ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇයට ප්‍රසිද්ධියේ සහයෝගය පළ කළහ.

1968 සිට ඔලිම්පික් සමස්ත ශූරතාව රඳවා ගත් පළමු කාන්තාව බවට පත්වීමට උත්සාහ කරන බයිල්ස් තනි පුද්ගල අවසන් තරඟ පහටම පැමිණ ඇත. ඇය බ්‍රහස්පතින්දා පැවැත්වෙන ඇගේ මීළඟ ඉසව්ව සඳහා තරඟ කරනු ඇත්ද යන්න තවම තීරණය කර නොමැත.

ට්විටර් සමාජ මාධ්‍යයේ පළ කරන ලද නිවේදනයක, ඇමරිකා එක්සත් ජනපදයේ ජිම්නාස්ටික් සම්මේලනය මෙසේ පැවසීය: "වෛද්‍ය ගැටළුවක් හේතුවෙන් සිමෝන් බයිල්ස් කණ්ඩායමේ අවසන් තරඟයෙන් ඉවත් වී තිබේ. අනාගත තරඟ සඳහා ඉදිරිපත් කිරීමට වෛද්‍ය අවසරය තීරණය කිරීම සඳහා ඇය දිනපතා වෛද්‍ය ඇගයීමට ලක්කරනු ලැබේ."

30 වතාවක් ඔලිම්පික් හා ලෝක ශූරතා පදක්කම්ලාභියාට ඉතිහාසයේ වඩාත්ම සම්මානලාභී ජිම්නාස්ටික් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්වීමට ටෝකියෝවේ දී තරඟ හතරක් අවසන් කළ යුතුය.

"අපි බ්‍රහස්පතින්දා සිදුවන්නේ කුමක්දැයි බලාගෙන ඉන්නවා," යැයි බයිල්ස් පැවසීය. "අපි එක වරකට එක් දිනය බැගින් ගෙන කුමක් සිදුවේදැයි බලාගෙන ඉන්නේ."

සිමෝන් බයිල්ස් යනු කවුද?

බයිල්ස් 1997 දී එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ උපත ලැබූ අතර ඇයට වයස අවුරුදු පහේ සිට ඇය හදා වඩා ගෙන ඇත්තේ ආච්චි සහ සීයා විසිනි.

ජිම්නාස්ටික් ක්‍රීඩාව වයස අවුරුදු හයේදී ආරම්භකළ ඇය හැදී වැඩුණේ ටෙක්සාස් හි දී ය.

වයස අවුරුදු 19 වන විට ඇය ලොව ඕනෑම කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් ලබාගත් වැඩිම ලෝක ශූරතා රන් පදක්කම් දිනා ගත්තාය. ඇයට පුහුණුවීමට ඉඩ දීම සඳහා පාසැල් නොගොස් නිවසේ දී අධ්‍යාපනය හැදෑරුවාය.

බයිල්ස් ගේ පුහුණුකරු පවසන්නේ ඇයට දින තුනකින් නව නිපුණතාවයක් පුහුණුකළ හැකි අතර එහෙත් වෙන කෙනෙකුට නව පියවරක් ගැනීමට මාස හෝ අවුරුදු ගණනාවක් ගත විය හැකි බවයි.

ඇයගේ බලගතු ධාවනය අනෙක් අයට වඩා ඇගේ සාමාන්‍ය කටයුතුවලදී බොහෝ අංග ඇතුළත් කිරීමට වඩාත් ඉඩක් සලසයි. වෙනත් අයට ඒ සඳහා වැඩි දුරක් දිවීමට සිදු වේ

ඇය, ඇයගේම පියවරයන් පවා ඇය සොයාගෙන ඇත; ද්විත්ව පසුගාමී කරනම, හා ඉන් අනතුරුව අඩක් ඇඹරීම සහ භුමිය දෙස නොබලා ගොඩබෑම ඒ අතර වේ.

ද බයිල්ස් (The Biles) නමින් හැඳින්වෙන මෙම පියවරේ උච්චතම අවස්ථාව ඇය ඇගේ උස වන අඩි හතරක් සහ අඟල් අටක් මෙන් දෙගුණයක් පමණ උස පිම්මක් ගැනීමයි.

බයිල්ස්ගේ සාර්ථකත්වය නිසා ඇය සම දෙනා අතර ප්‍රචලිත ක්‍රීඩිකාවකි. ඇයට අධික විශ්වාසයක් ඇති බවට චෝදනා කරන විවේචකයන්ට ප්‍රතිචාර වශයෙන් මේ වසර මුලදී ඇය විහිළුවට ලක් කළේ ඇය නැටීම පිණිස අඳින ඇඟට තදවන ඇඳුම එළුවෙකු ට අන්දන බවට පවසමිනි. එයින් ඇය ඉඟි කළේ GOAT (Greatest Of All Time) නොඑසේනම් සියල්ලන්ගේම ශ්‍රේෂ්ඨයා යන සංකේතනාමයයි.

එතැන් සිට ඇයට නිල ට්විටර් ඉමොජි - එළුවෙකු ලබා දී ඇති අතර, එවැනි ගෞරවයකින් පිදුම් ලැබූ පළමු ක්‍රීඩිකාව ඇයයි.

ඔලිම්පික් උළෙල පුරාම #SimoneBiles හෝ #Simone යන හැෂ් ටැග් භාවිතා කරමින් එය පෝස්ට් වල දිස්වනු ඇත.