ඈෂ්ටන් ඒගාර්: ශ්‍රී ලාංකික පිතිකරුවන්ට හිසරදයක් වූ ඔස්ට්‍රේලියානු - ශ්‍රී ලාංකිකයා

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පෙරේදා (ඔක්: 27) නිමාව දුටු පන්දු වාර 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි මතකයක් එක් කළේය.

ඒ, පන්දු වාර 20 තරගයකදී වැඩි ම ලකුණු ලබා දුන් පන්දු යවන්නා බවට කසුන් රාජිත පත්වීමත්, ශ්‍රී ලංකාව ලකුණු 134 න් පරාජය වීමත් හේතුවෙනි.

කෙසේ වෙතත්, මෙම තරගය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට සන්ධිස්ථානාත්මක තරගයක් බවට පත් විය.

ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ඈෂ්ටන් ඒගාර්.

මෙම තරගය ඔහුගේ ක්‍රිකට් දිවියේ සන්ධිස්ථානයක් බවට පත්වූයේ, වසර කිහිපයක් පුරා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ථානයක් නොලැබ සිටි ඔහු කලකට පසු ලැබුණු අවස්ථාවෙන් උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළ හෙයිනි.

26 වන වියේ පසුවන වමතින් දඟපන්දු යවන ඈෂ්ටන් ඒගාර් එම තරගයේදී පන්දු වාර 4ක් යවමින් එක් කඩුල්ලක් දවා ගනිමින් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 13ක් පමණි.

එහි සාමාන්‍යය පන්දු වාරයකට ලකුණු 3.25ක් විය. එම තරගයේදී ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් පස් දෙනාගෙන් අඩු ම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන්නේ ඈෂ්ටන් ඒගාර්ය.

එය ඔහු පන්දු වාර 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ හොද ම ලකුණු සාමාන්‍යය වේ.

ඔස්ට්‍රේලියානු නායකයාගේ 'අපේක්ෂාව'

කලකට පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට යළිත් එක්වූ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ඈෂ්ටන් ඒගාර් පිළිබඳව ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් මහත් බලාපොරොත්තු තබා සිටින බව අඟහරුවාදා (ඔක්: 29) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

එහිදී ඔහු පැවසුවේ, පන්දු වාර 20 තරගවලදී තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ඈෂ්ටන් ඒගාර් විශිෂ්ට "තරග අවසන් කරන්නෙකු" වනු ඇති බවය.

ලබන වසරේ පැවැත්වෙන පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඈෂ්ටන් ඒගාර් පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන පන්දු වාර 20 තරගය හෙට පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සම්භවය

ඈෂ්ටන් ඒගාර්ගේ පියා වන ජෝන් ඒගාර් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර සෝනියා හේවාවිස්ස වන මව ශ්‍රී ලාංකාවේ උපත ලැබූ කාන්තාවකි.

ඇය 2013 වසරේදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, 1974 වසරේදී ඇය ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි බවය.

ඔස්ට්‍රේලියානුවෙකු වුව ද ඈෂ්ටන් ඒගාර් සිය ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ආඩම්බර වන බව ඔහුගේ මව එහිදී බීබීසී සිංහල සේවයට පැවසීය.

තමන් ශ්‍රී ලංකාවෙන් පිට වී බොහෝ කලක් වන නමුත් සිය පවුලේ සාමාජිකයන් සියලු දෙනා ම තවමත් ශ්‍රී ලාංකීය චාරිත්‍ර වාරිත්‍ර පිළිපදින බව සෝනියා ඒගාර් පවසයි.

ඇය සමග කළ සංවාදය ඇසුරෙන් 2013 ජූලි 19 වන දා පළ කළ ලිපිය පහත දැක්වේ.

ඈෂ්ටන් ඒගාර්ගේ ක්‍රිකට් දිවිය

1993 වසරේ ඔක්තෝබර් 14 වන දා ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන්හිදී උපත ලද ඈෂ්ටන් ඒගාර් බටහිර ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසියේය.

පසුව ඔහු ඔස්ට්‍රේලියානු 19 න් පහළ ජාතික කණ්ඩායමටත් පර්ත් ස්කෝෂර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කළේය.

ඔහුට පළමු වරට ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ, 2013 වසරේදීය. 2015 වසරේදී එක්දින වරම් ලැබූ ඔහු පන්දු වාර 20 කණ්ඩායමට ඇතුළත් වූයේ, 2016 වසරේදීය.

තවදුරටත් කියවන්න.