ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට් ලෝක කුසලානය: අවසන් තරග ඉතිහාසය සහ මෙතෙක් පැමිණි ගමන් මග
ක්‍රිකට් ලෝලීන්ගේ වැඩි ම අවධානයට පාත්‍ර වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය බ්‍රහස්පතින්දා (මැයි 30) ආරම්භ වෙයි.
වසර 4කට වරක් ලෝකයේ දක්ෂතම ක්‍රිකට් කණ්ඩායම තීරණය කෙරෙන මෙම තරගාවලිය මෙවර සත්කාරක රට වන්නේ එංගලන්තයයි.
12 වන වරට පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් 10ක කණ්ඩායම් සුදුසුකම් ලබා තිබේ.
තරගාවලිය මැයි 30 වන දා සිට ජූලි 14 වන දා දක්වා පැවැත්වෙන අතර තරගාවලියේදී පැවැත්වෙන මුළු තරග සංඛ්‍යාව 48කි.
මෙවර තරගාවලියට පිවිසීමට පෙර මීට පෙර පැවති ලෝක කුසලාන තරගාවලීන්හි අවසන් තරග ඉතිහාසය විමසා බලමු.
1975
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙය විය. මෙහි අවසන් තරගයට බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලැබීය.
1975 ජූනි මස 21 වන දා එම තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ, පන්දු වාර 60 තරගයක් ලෙසය.
තරගය ලකුණු 17කින් ජය ගනිමින් ලොව පළමු ක්‍රිකට් ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ දිනා ගත්හ.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - ක්ලයිව් ලොයිඩ්
1979
මෙම තරගාවලියේ ද අවසන් තරගයට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම වූයේ, එංගලන්තයයි.
පන්දු වාර 60 තරගයක් ලෙස පැවති මෙම තරගය 1979 ජූනි මස 23 වන දා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරගයේදී ලකුණු 92ක විශිෂ්ට ජයක් හිමි කර ගත් කොදෙව් කණ්ඩායම දෙවන වරට ද ලෝක කුසලානය දිනා ගත්තේය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - විවියන් රිචර්ඩ්ස්
1983
තුන් වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය 1983 ජූනි 25 වන දා එංගලන්තයේදී පැවැත්විණි.
අවසන් තරගය පැවැත්වුණේ, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරය. මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 183කදී දැවී යාමත් සමග කොදෙව් කණ්ඩායමට අඛණ්ඩව තුන් වන වරටත් ලෝක කුසලානය හිමි කර ගැනීමේ අපේක්ෂා දැල්වී තිබිණි.
එහෙත්, පන්දු වාර 60 තරගයක් වූ එම තරගයේ 52 වන පන්දු වාරයේදී කොදෙව් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 140කට බිඳ වැටීම හේතුවෙන් ඉන්දියාව ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - මොහින්දර් අමරනාත්
1987
එවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඉන්දියාවේ කල්කටා නුවර ඊඩ්න් ගා(ර්)ඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතරය.
1987 නොවැම්බර් 08 වන දා පැවති එම තරගය පන්දු වාර 50 තරගයක් විය.
එහිදී ඔස්ට්‍රේලියාව ලකුණු 7ක තියුණු ජයක් ලබා ගනිමින් සිය පළමු ලෝක කුසලානය හිමි කර ගත්තේය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - ඩේවිඩ් බූන්
1992
පස් වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්තානය සහ එංගලන්තය අතර 1992 මාර්තු 25 වන දා දිවා රාත්‍රී තරගයක් ලෙස ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එහිදී ලකුණු 22කින් තරගය ජය ගත් පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත්තේය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - වසීම් අක්‍රම්
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - මාර්ටින් ක්‍රෝ
1996
ශ්‍රී ලාංකික ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙයයි.
1996 මාර්තු 17 වන දා පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගයට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබා සිටියේය.
මීට පෙර පැවති ලෝක කුසලාන අවසන් තරග 5දී ම පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම ජය හිමි කරගෙන සිටි අතර ශ්‍රී ලංකාව එම සම්ප්‍රදාය බිඳ දමමින් ඔස්ට්‍රේලියාව කඩුලු 7කින් පරාජය කරමින් පළමු වරට ලෝක ශූරයින් බවට පත් විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - අරවින්ද ද සිල්වා
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - සනත් ජයසූරිය
1999
1999 ජූනි මස 20 වන දා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති 7 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතරය.
මෙහිදී පාකිස්තාන කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට යළිත් වරක් ලෝක ශූරයින් බවට පත් වීමේ වාසනාව උදා විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - ෂේන් වෝර්න්
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - ලාන්ස් ක්ලූස්නර්
2003
2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාවයි.
මාර්තු 23 වන දා ජොහැන්නස්බර්ග්හිදී පැවති එම තරගයෙන් ලකුණු 125ක දැවැන්ත ජයක් හිමි කර ගනිමින් ඔස්ට්‍රේලියාව තුන් වන වරටත් ලෝක ශූර කණ්ඩායම බවට පත් විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - රිකී පොන්ටිං
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - සචින් තෙන්දුල්කාර්
2007
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වරට ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ 2007 වසරේදීය. එහිදී ප්‍රතිවාදී කණ්ඩායම බවට පත් වූයේ, ඔස්ට්‍රේලියාවයි.
ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව එම තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 53ක ජයක් හිමි කර ගැනීමත් සමග ශ්‍රී ලංකාවට යළිත් ලෝක ශූරයින් බවට පත් වීමට තිබූ අවස්ථාව අහිමි විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - ඇඩම් ගිල්ක්‍රිස්ට්
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - ග්ලෙන් මැක්ග්‍රාත්
2011
ශ්‍රී ලංකාව යළිත් වරක් අවසන් තරගයට සුදුසුකම් ලැබීය. 2011 අප්‍රේල් 02 වන දා මුම්බායිහි පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 274ක් රැස් කළේය.
එහෙත්, ගෞතම් ගම්භීර් සහ මහේන්ද්‍ර සිං දෝනිගේ සාර්ථකත්වය හමුවේ ඉන්දියාවට කඩුලු 6ක ජයක් හිමි විය.
ඒ අනුව, අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක ශූර අපේක්ෂාව බිඳ වැටිණි.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - මහේන්ද්‍ර සිං දෝනි
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - යුව්රාජ් සිං
2015
11 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර 2015 මාර්තු 29 වන දා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නවසීලන්තය ලෝක කුසලාන අවසන් තරගයකට ක්‍රීඩා කළ පළමු අවස්ථාව එය විය.
මෙම තරගයෙන් ද කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගත් ඔස්ට්‍රේලියාව 5 වන වරටත් ලෝක ශූරයින් බවට පත් විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - ජේම්ස් ෆෝක්නර්
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - මිෂෙල් ස්ටාර්ක්
2019?
මෙවර 12 වන වරට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජනප්‍රිය ම කණ්ඩායම බවට පත්ව තිබෙන්නේ, එංගලන්ත කණ්ඩායමයි. එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු වන ස්ථානයේ සිටින්නේ ද ඔවුන්ය.
එහෙත්, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද දක්ෂතා අතර පසු වෙයි.
මේ අතර, ඇෆ්ඝනිස්තානය සහ බංග්ලාදේශය ද සැලකිය යුතු මට්ටමක පසු වන බව පුහුණු තරගවලදී දක්නට ලැබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට එක්ව සිටින්නේ අර්බුද රැසකට මුහුණ දීමෙන් අනතුරුවය. කණ්ඩායමේ නායකත්වය එක්දින පිටියට නවක ක්‍රීඩකයෙකු වන දිමුත් කරුණාරත්න විසින් දරනු ලබයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න සහ ජීවන් මෙන්ඩිස් 2015 වසරෙන් පසුව ක්‍රීඩා කර ඇත්තේ, ජාත්‍යන්තර එක්දින තරග කිහිපයකට පමණි.
කෙසේ වෙතත්, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසන්නේ, මෙවර තරගාවලියේදී යම් වෙනසක් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවය.