ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා ක්‍රිකට්: නුවන් සොයිසාට සහ අවිෂ්ක ගුණවර්ධනට 'තරග පාවා දීමේ' චෝදනා
අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් වන නුවන් සොයිසාට සහ අවිෂ්ක ගුණවර්ධනට එරෙහිව තරග පාවා දීමේ චෝදනා ගොනු කර තිබේ.
මෙම චෝදනා ගොනු කර තිබෙන්නේ 2017 වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දු වාර 10 ක්‍රිකට් තරගාවලියකට අදාළවය.
එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ දූෂණ හා වංචා පිළිබඳව සිදු කරන පුළුල් විමර්ශනයේ කොටසකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරියට පෙබරවාරි මාසයේදී වසර දෙකක තහනමක් පනවනු ලැබිණ.
නුවන් සොයිසා
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30කට සහ එක්දින තරග 95කට ක්‍රීඩා කර තිබෙන 40 හැවිරිදි නුවන් සොයිසා (1997 - 2007) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති තුනක් කඩ කිරීමේ චෝදනා යටතේ නොවැම්බර් මාසයේදී තහනමකට ලක් විය.
ඒ අනුව, මේ වන විට ඔහු නීති හතරක් කඩ කළ බවට චෝදනා ලැබ සිටී. ඒ, "තරගයක ජය පරාජය සහ තරගය පවත්වාගෙන යාම සඳහා අයුතු බලපෑම් කිරීමට එකඟවීම" සහ "ඊට අදාළ විමර්ශනවලට සහය නොදීම" යන කරුණු යටතේය.
මීට පෙර ඔහුට එරෙහිව පසුගිය ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පාවා දීමට උත්සහ දැරීම හා සම්බන්ධ, ඒ සඳහා ක්‍රීඩකයෙකු පොළඹවා ගැනීමට උත්සහ දැරීම හා සම්බන්ධ සහ දූෂණවලට සම්බන්ධ වීම සඳහා සිදු වූ කිසියම් පෙළඹවීමක් අනාවරණය නොකිරීම හා අදාල වගන්ති යටතේ චෝදනා එල්ල විය.
එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ 2.1.1, 2.1.4 සහ 2.4.4 යටතේ ඔහුට චෝදනා ගොනු කර තිබිණි.
අවිෂ්ක ගුණවර්ධන
1999 සිට 2006 දක්වා ටෙස්ට් තරග 6ක් සහ එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති 41 හැවිරිදි අවිෂ්ක ගුණවර්ධන මේ වසර මුලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරිණි.
තරගයක් පාවා දීම සඳහා "ඍජුව හෝ වක්‍රව ඉල්ලීම් කිරීම, අනුබල දීම, උපදෙස් දීම, ඒත්තුගැන්වීම, දිරිමත් කිරීම හෝ හිතාමතා පහසුකම් සැපයීම," ඔහුට එල්ල වී ඇති චෝදනා දෙකය.
ඔවුන් දෙදෙනා ම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ තනතුරුවලින් තාවකාලිකව ඉවත් කෙරෙන අතර එම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා දින 14ක කාලයක් ලබා දී තිබේ.
කියවන්න: