ශ්‍රී ලංකා ක්‍රිකට් සහ විනය විරෝධී හැසිරීම්: "ඇකඩමියක් අවශ්‍යයි"

ධනුෂ්ක ගුණතිලක

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිටියේත් ඉන් පිටතත් හැසිරෙන ආකාරය මගින් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට ද බලපෑමක් එල්ල කළ හැකිය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය අතරතුර කණ්ඩායම නැවතී සිටි හෝටලයේදී විදේශීය කාන්තාවකට අතවර කිරීමේ සිදුවීමකට ශ්‍රී ලංකා කාණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ද සම්බන්ධ බවට ලොව පුරා මාධ්‍ය වාර්තා පළවිය.

එය ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට අපකීර්තියක් එක්කළ පුවතක් විය.

අදාළ විදේශීය කානතාවට අතවර කිරීමේ චෝදනාවට ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නොමැති බව පොලිස් මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුනේ ඔහු හමුවීම පිණිස කණ්ඩායම නැවතී සිටි හෝටලයට පැමිණි ඔහුගේ ඉතා සමීප මිත්‍රයෙකි.

කෙසේ වෙතත් කණ්ඩායමේ නීතිරීති උල්ලංඝනය කරමින් තරගයක් පැවැත්වෙන දින රාත්‍රියේ මෙවැනි පිරිසක් සමග ධනුෂ්ක ගුණතිලක රැඳී සිටීමම දැඩි විනය විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු පවසති. ඒ අනුව ඔහුට එක්දින තරග 5ක් හා විස්සයි විස්ස තරගයක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිකුරාදා (ජුලි 27) කටයුතු කළ අතර ඔහුගේ දෙවැනි ටෙස්ට් තරගයේ ආදායම ද අත්හිටුවනු ලැබිණ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ද ධනුෂ්ක ගුණතිලක තරග හයක තහනමකට ලක්කරනු ලැබුවේ නිසි ලෙස පුහුණුවීම් වලට සම්බන්ධ නොවීම, තම ක්‍රීඩා උපාංග නොමැතිව තරගයකට සහභාගිවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනි.

පන්දුව පළුදු කිරීම

ජාතික ක්‍රිකට් කණ්ඩායම

ජුනි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිටිය තුළ මෙන්ම පිටියෙන් පිටත විනය විරෝධී ලෙස හැසිරුණු සිදුවීම් වාර්තා විය.

දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ සිදුවීමකට අදාල විනය කැඩීමේ චෝදනාව මත තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවට නැවත පිටත් කර යැවිණ. පසුව පැවති පරීක්ෂණයකදී ඔහුට වසරක අත්හිටවූ තරග තහනමක් පැනවීමට ක්‍රිකට් බලධාරීහු කටයුතු කළහ.

එම තරගාවලියේම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වරදකරු වීමත් එම චෝදනාව එල්ල කළ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම පැය 2 කට ආසන්න කාලයක් පිටියට නොපිවිසිමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එල්ලවූ කළු පැල්ලමක් විය.

එහිදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ ක්‍රීඩාවේ ජිව ගුණය බිඳ දැමීමේ චෝදනාවට වරදකරුවන්වූ අතර ඔවුන්ට ටෙස්ට් තරග 2ක් හා එක්දින තරග 4ක තහනමක් පැනවිණි. මෙම තහනම මෑත කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලෝකයේ කණ්ඩායමකට පැනවූ බරපතලම දඬුවම ලෙස ක්‍රිකට් විචාරකයෝ හඳුන්වා දෙති.

'ක්‍රිකට් ඇකඩමියක් අවශ්‍යයි'

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙලෙස දිගින් දිගට විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම පිළිබඳ බීබීසි සිංහල සේවය ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගෙන් පසුගියදා පැවති සංවාදයකදී කළ විමසීමකදී ඔහු පැවසුවේ ක්‍රීඩකයන් මුල් අවදියේ සිට හැසිරිය යුතු ආකාරය ගැන දැනුවත් කිරීමේ සැලැස්මක් ඇති කළ යුතු බවය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

"අපි දන්නවා, මිනිස්සු වුනාම වැරදි කරනවා. ඔවුන් වැරදි කරලා තමයි හිතන්නේ, මේවගේ දේවල් වුනාම ඔවුන්ට ලොකු පසුබෑමක් වෙනවා. ඒ ගැන ඔවුන්ව දැනුවත් කරලා තියෙන්න ඕනේ, උගන්නල තියෙන්න ඕනේ," මහේල ජයවර්ධන කියා සිටියේය.

වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෙක් සම්බන්ධවීමේ සිට ඔවුන් සම්බන්ධ කරගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇකඩමියක් පිහිටවිය යුතු බව තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදුන් ක්‍රියාත්මක නොවූ සැලැස්මක තිබූ බව පැවසූ මහේල ජයවර්ධන එමගින් බලපොරොත්තුවුයේ කුඩා කළ සිටම ක්‍රීඩකයන් හැසිරිය යුතු ආකරය සහ මාධ්‍යවලට මුහුණදිය යුතු ආකාරය ගැන ඔවුන් දැනුවත් කිරීම බවත් පෙන්වාදුන්නේය.

"අලුතින් එන හැම ළමයෙක්ම දැනුවත් කිරීමේ සැලැස්මක් තිබිය යුතුයි. ක්‍රීඩාවට සම්බන්ධ දේවල් වගේම අනිකුත් දේවල්," ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන ක්‍රීඩා ලෝලින් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙන්නේ ද විනය කඩකරන ක්‍රීඩකයන්ට දැඩි දඬුවම් පැනවිය යුතු බවය.

අතීතයේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විනය විරෝධිව හැසිරුණු අවස්ථාවල ඔවුන්ට දැඩි දඬුවම් ලබා නොදීම මෙවැනි සිදුවීම් තවදුරටත් වාර්තාවීමට හේතුවී ඇති බව ඇතැම් ක්‍රීඩා ලෝලීහු පෙන්වා දී තිබුණි.