පාපන්දු ලෝක කුසලානය: "එහෙම ලොකු ස්ටේඩියම් එකක් කොහේවත් දැකල නැහැ"

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට නම් දිවයින තුළ පාපන්දු ක්‍රීඩාවට "මීට වඩා තැනක්" දිය යුතු බව පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා ධජය රැගෙන ගිය ළමා පාපන්දු ක්‍රීඩක දිනුක බණ්ඩාර පවසයි.
රුසියාවේ පැවැත්වෙන ජගත් පාපන්දු ලෝක කුසලානයට සමගාමීව පැවැත්වූ සුහද පාපන්දු වැඩසටහනකට ෆීෆා (FIFA) ජගත් පාපන්දු පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ දිනුක බණ්ඩාර හා අයාන් සදාත් තෝරාගෙන තිබුණි.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
ඔවුන් දෙදෙනාම දොළොස් හැවිරිදි වියේ පසුවන දරුවන්ය.
ඔවුන් දින 10 ක් රුසියාවේ රැඳී සිට, රටවල් 211 ක් නියෝජනය කළ යොවුන් ක්‍රීඩකයන් සමග සුහද පාපන්දු තරගාවලියකට සහභාගි වූහ.

"ස්ටේඩියම් (ක්‍රීඩාංගනයේ) එකේ ලොකු, මම එහෙම එකක් කොහේවත් දැකල නැහැ," සිය රුසියානු සංචාරයේ අත්දැකීම් බීබීසි සිංහල සේවය සමග විස්තර කරමින් දිනුක බණ්ඩාර කියා සිටියේය.
"ඇත්තටම ගොඩාක් සතුටුයි, මෙහෙම අවස්ථාවක් ලැබෙයි කියල හිතුවෙ නැහැ, ෆිෆා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ධජය අරගෙන යන්න ලැබීම ලොකු සතුටක්."
ලෝක කුසලාන සමාරම්භක උත්සවයේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමටත්, ලෝක කුසලානයේ රුසියාව හා සවුදි අරාබියාව අතර සමාරම්භක තරගය නැරඹීමටත් ඔවුන් දෙදෙනාටම අවස්ථාව හිමි විය.
"ඒ ක්‍රීඩකයන් හරි වේගයෙන් සෙල්ලම් කරනවා, බොලේ පාස් කරනවා, හරියට තාක්ෂණයට සෙල්ලම් කරනවා" දිනුක රුසියානු ක්‍රීඩකයන් ගැන සිය මතකය අවදි කළේය.

දිනුක බණ්ඩාර මෙලෙස ක්‍රීඩකයෙක් ලෙස තම අනාගතයට අත්දැකීම් ලබාගනිද්දී ඔහු සමග ශ්‍රී ලංකාව නියෝජනය කළ අයාන් සදාත් සිටියේ ලෝක කුසලාන සමාරම්භක උත්සවයේ සහ තරගයේ මාධ්‍ය ආවරණය කරමිනි.
ඔහු මෙම වැඩසටහනට සම්බන්ධවී තිබුණේ 'ජාත්‍යන්තර ළමා මාධ්‍ය මධ්‍යස්ථානයේ'දී තරුණ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කිරීමටය.
"මම තරගයට ප්‍රථම ලියපු වාර්තාවේ කිව්වා රුසියාව ගෝල 2-0කින් දිනනවා කියලා, නමුත් හැමෝම පුදුම කරමින් ගෝල 5 ගැහුවා," අයාන් මාධ්‍ය කුටියේ සිය අත්දැකීම් විස්තර කළේ එලෙසිනි.
"ගොඩක් මාධ්‍ය වැඩසටහන් තිබුණා අපට, ගොඩක් රටවල ක්‍රීඩකයන් අඳුරගන්න පුළුවන් වුණා. ශ්‍රී ලංකාව ගැන ගොඩක් දෙනෙක්ට කියල දුන්නා. මොකද, ඔවුන් අපේ රට ගැන දැන ගෙන හිටියේ නැහැ," රටවල් 211 ක ක්‍රීඩකයන් හමුවීම ගැන ඔහු සඳහන් කළේ එලෙසිනි.
'මිත්‍රත්වය සඳහා පාපන්දු' (Football for Friendship -F4F) ලෙස නම් කර තිබු මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් යොවුන් ක්‍රීඩකයන් සහභාගී කර තිබුණේ පළමු වතාවටය.

ශ්‍රී ලංකාවේ දිනුක බණ්ඩාර මෙහිදී කණ්ඩායම් 32 කින් සමන්විත සුහද පාපන්දු ශූරතාවලියේ එක් කණ්ඩායමක දැල් රකින්නා ලෙස ක්‍රියා කළේය. පාපන්දු ක්‍රීඩාවේ නියැළෙන රටවල් 211 ක ක්‍රීඩකයන් 211 ක් කණ්ඩායම් 32 කට බෙදා මෙම ළමා ලෝක කුසලාන තරගාවලිය පැවැත්විණි.
"අපි අවාසනාවන්ත ලෙස එක තරගයක් පැරදුනා 1-0 ක් හැටියට. ඒ නිසා තරගාවලියේ ඉදිරියට යන්න බැරිවුණා. අපේ ටීම් එකේ හිටපු චිලි රටේ ක්‍රීඩකයා හොඳට සෙල්ලම් කළා. මගෙත් දැල් රැකීම හොඳයි කියලා කිව්වා."
නුගේගොඩ ශාන්ත ජෝශප් විදුහලේ ශිෂ්‍යයෙක්වන දිනුක බණ්ඩාර මෙම තරගාවලියේ දැල් රකින්නා ලෙස කටයුතු කළත් ඔහු සාමානයෙන් ක්‍රීඩා කරන්නේ ප්‍රහාරක ක්‍රීඩකයෙක් ලෙසය.
ආජන්ටිනාවේ ලයනල් මෙසී අනුගමනය කරමින් පාපන්දු ක්‍රීඩාවේ නිරතවීම ඔහුගේ ඉදිරි බලාපොරොත්තුවය.
"අනිත් රටවල පාපන්දු වලට ඒ රටේ තැන තියෙනවා, ඒක තමයි අපේ රටේ නැත්තේ, ඒ රටේඋනන්දුව තියෙන නිසා ඒ අය හොඳට සෙල්ලම් කරනවා" දිනුක බණ්ඩාර, ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන පළකළේ එවන් අදහසකි.
"ඒගොල්ලන්ගෙන් අපි පාපන්දු ඉගෙනගන්න ඕනේ," අයාන් ළමා ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ලෙස ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩකයන් සහ අනිකුත් රටවල ක්‍රීඩකයන් අතර සැසඳීමක් කළේ ඒ ආකාරයටය.
තරුණ පරපුර අතර පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට මග පෙන්වීමත්, විවිධ සංස්කෘතීන්ට හා ජාතීන්ට ගරු කරමින්, විවෘත මනසකින් ලෝකය විමසා බැලීමට දරුවන්ට මග පෙන්වීමත් අරමුණු කරගෙන, වාර්ෂිකව මෙම වැඩසටහන සංවිධානය කරන බව ළමා පාපන්දු ක්‍රීඩක වැඩසටහනේ (F4F) සංවිධායකයෝ පවසති.









