ශ්‍රී ලංකා ක්‍රිකට්: ඇමති ඉල්ලීමට සංගා, මුරලි, මහේල, රොෂාන්, අරවින්ද ප්‍රතිචාරය "සදාචාරාත්මකද?"

ඡායාරූප මූලාශ්‍රය, BBC/Getty
"තමන්ගේ කාර්යයන් සඳහා කාලය දිගුකර ගැනීමට අපේ කාලය කා දැමීමක්."
"මේ ක්‍රමය ගැන විශ්වාස නැහැ."
"මීට කලින් දුන් නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක වුනේ නැහැ."
"ව්‍යවස්ථාව වෙනස් කරන්න."
"ඉල්ලීම කළේත් මාධ්‍යයෙන්."
ඉහත දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට උපදේශකයන් වශයෙන් දායකත්වය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂතම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුගෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කළ ඉල්ලීමට ඔවුන් පළ කළ ප්‍රතිචාරයය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ ක්‍රිකට් ක්‍රීඩකයා වන කුමාර් සංගක්කාර, වැඩිම කඩුලු දවාගත් මුත්තයියා මුරලිදරන්, ශ්‍රී ලංකාවේ සාර්ථකම නායකයෙකු ලෙස සැළකෙන මහේල ජයවර්ධන, ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දීමට ප්‍රබල දායකත්වයක් ලබාදුන් හිටපු නායක අරවින්ද ද සිල්වා සහ හිටපු ක්‍රීඩකයෙකු ලෙස හා ජාත්‍යන්තර තරග තීරකවරයෙකු ලෙස ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදුන් රොෂාන් මහානාම ඒ ක්‍රීඩකයන් පස්දෙනාය.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් සැළකෙන ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීමට අවශ්‍ය දායකත්ව ලබාදීමට කළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම, වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රිකට් පරිපාලනය මුහුණදී තිබෙන කණගාටුදායක තත්ත්වය පැහැදිලිව පෙන්නුම් කරන්නක් බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදේශකයන් ලෙස සම්බන්ධවන ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඔවුන්ට ආරාධනා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාස කිහිපයකින් කල්යාමත් සමගය.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා බලාපොරොත්තු නොවූ පරිදි ජනමාධ්‍ය ඔස්සේ කළ ආරාධනයට මාධ්‍ය ඔස්සේම පිළිතුරු දීමට හිටපු ක්‍රීඩකයන් කටයුතු කර තිබුණි.
අමාත්‍යවරයාගේ ඉල්ලීමට මුලින්ම ප්‍රතිචාරය දැක්වූයේ මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණේ තමන්ට "මේ ක්‍රමය ගැන කිසිදු විශ්වාසයක් නොමැති" බවය.
තමන් වසරක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේත්, තවත් මාස 6 ක් විශේෂ උපදේශක මණ්ඩලයකත් කටයුතු කර ලබාදුන් කිසිදු නිර්දේශයක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව මහේල ජයවර්ධන පෙන්වා දී තිබුණි.
"යම් කාර්යකට කාලය ගැනීම සඳහා අප භාවිත නොකරන" මෙන් ද ඔහු ඉල්ලීමක් කර තිබුණි.
පසුගිය ඔක්තෝබර් මාසයේ එවකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කරන ලද ස්වාධීන උපදේශන මණ්ඩලයේ සාමාජිකයකු වූ මහේල ජයවර්ධන කමිටුවට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තමන් ගන්නා අවසන් උත්සාහය එය බවය.
ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් මහේල ජයවර්ධන විසින් 2015 වසරේ දී ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දෙනු ලැබූ අතර එය ද ක්‍රියාත්මක නොවීය.
දශක දෙකකට ආසන්න සිය ක්‍රිකට් අත්දැකීම් මුල් කර ගනිමින් ඔහු විසින් එවැනි ක්‍රිකට් සැලැස්මක් බාරදෙනු ලැබුවේ 2015 වසරේ දී පත් කරන ලද සිදත් වෙත්තමුනිගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු කමිටුවේ ඉල්ලීමකට අනුවය.
"අවසාන ප්‍රයත්නයත් යොදවලා බලමු. මේක මගේ අවසාන උත්සාහය. මේ සැලසුම් ක්‍රියාත්මක වුනේ නැතිනම් නැවත නැවත පැමිණ ඒ දේ කරන්න උත්සාහ කරන එක මටත් අපහසුයි," බීබීසී සිංහල සේවය එම අවස්ථාවේදී කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් මහේල ජයවර්ධන කියා සිටියේය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අවසන් වරට පත්කළ කමිටුවේ සාමාජිකයකු වූ කුමාර සංගක්කාර ද ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් තමන් සිටි කමිටුව ඉදිරිපත් කළ කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක නොවීම ගැන සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබුණි.

මෙලෙස පත්කරන කමිටු මගින් ගන්නා තීරණ ක්‍රියාත්මක නොවන තත්වයක් හමුවේ තවදුරටත් එවන් කමිටුවලට සම්බන්ධවීමෙන් පළක් නොමැති බව ඔහු අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගැනීමට නම්, ක්‍රිකට් ව්‍යවස්ථාවට හා ක්‍රීඩා පනතට අවශ්‍ය වෙනස්කම් කිරීම අත්‍යවශ්‍යම කාර්යයක් බව කුමාර් සංගක්කාර ද ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත යොමුකරන ලිපියෙන් යෝජනා කරයි.
කලක් මුළුල්ලේ කෙරෙන මෙම ඉල්ලීම ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සහය ලබාගෙන ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ යුතු බවට ද ඔහු යෝජනා කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුලිකත්වය දිය යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ක්‍රීඩා අමාත්‍යවරයාට යැවු ලිපියේ සඳහන්වේ.
"ඕනෑම මට්ටමකදී දේශපාලන මැදිහත්වීම්, වංකකම සහ විනිවිදභාවයකින් තොරවීම මම අතිශයින් පිළිකුල් කරමි. එබැවින් මේ තත්ත්වය තුරන් කිරීමට කිසිවකු නිසි පියවර ගන්නා තුරු මම මගේ ප්‍රතිපත්තිමය රාමුවේම සිටිමි," යනුවෙන් පවසමින් රොෂාන් මහානාම ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ ආකාරයටම මුත්තයියා මුරලිදරන් සහ අරවින්ද ද සිල්වාත් තම ආරාධනා ප්‍රතික්ෂේප කරමින් අදහස් දක්වා තිබු අතර, ඔවුන් සියළු දෙනාගේම මුලික අදහසවී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්පුර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතු බවය.

කෙසේ වුවත් හිටපු ක්‍රීඩකයන් මෙලෙස ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම "සදාචාරාත්මකද යන්න ක්‍රීඩකයන් යළි සිතා බැලිය යුතු බව" අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මාධ්‍ය වෙත පවසා තිබුණි.
"රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනට අපේ හිටපු ක්‍රිකට් ප්‍රවීණයන්ගේ සහාය අත්‍යවශ්‍ය බව සියළු දෙනාම දන්න කරුණක්."
"මේ අවස්ථාවේ මේ උදවිය මේක ප්‍රතික්ෂේප කරන එක කොච්චර සදාචාරාත්මකද කියලා මම ඒ උදවියගෙන්ම අහන්න කැමතියි, හේතුව ඒ උදවිය ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින් යමක් ලබලා තියෙනවා, අපි යමක් ලබලා තියෙනවනම් අපි ඒ තුලින් නැවත මොනවාද දෙන්න පුළුවන් කියල බලන්න ඕනේ," අමාත්‍යවරයා කියා සිටියේය.
විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් මෙම ක්‍රීඩකයන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන බව පවසන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා නැවතත් එම ඉල්ලීම ගැන සළකා බලන ලෙස එම ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක් ද කරයි.
"ක්‍රමවේදයට ඇඟිල්ල දිගුකරන්න පුළුවන්, හැබැයි ක්‍රීඩා ඇමති ලෙස වගකීමෙන් කියනවා මම ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දෙනවා" ඔහු කියා සිටියේය.
සබැඳි පුවත්:










