ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා ක්‍රිකට්: දිනේෂ් චන්දිමාල් "පැණි රස කෑමක දියරයෙන් පන්දුව පළුදු කළා"
පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බැවින් ඒ ගැන පරීක්ෂණයක් අද සවස බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර දිනේෂ් චන්දිමාල්ට මෙම චෝදනා එල්ල විය.
පසුගිය සිකුරාදා (ජූනි 15) තරගයේ අවසන් සැසිවාරයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සිය වම් සාක්කුවෙන් කිසියම් පැණි රස කෑමක් ගෙන එය මුඛයේ දමා පසුව එය පන්දුවේ දවටා පන්දුව පළුදු කිරීමට උත්සාහ කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට චෝදනා ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. එම සාක්ෂි උපයෝගී කරගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක ජවගල් ශ්‍රීනාත් ඉදිරියේ මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇත.
මේ පරීක්ෂණයෙන් පසු ලබා දෙන තීන්දුවට අභියෝග කිරීමට ශ්‍රී ලංකා නායකයාට හැකි අතර, ඉන් අනතුරුව ස්වාධීන කොමසාරිස්වරයෙක් ඉදිරියේ තවත් පරීක්ෂණයක් පවත්වනු ලැබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ දිනේෂ් චන්දිමාල් මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන නිසා බොහෝ දුරට මෙම පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් දක්වා ගෙන යාමට ඉඩ ඇති බවය.
මෙම චෝදනාවට දිනේෂ් චන්දිමාල් වරදකරු වුවහොත් ඔහුට දඩ මුදලකට සහ ඇතැම් විට එක් ටෙස්ට් තරග තහනමකට යටත් වීමට සිදු වනු ඇත.
මේ තොරතුරුද කියවන්න:
මින් පෙර මේ ආකාරයට පන්දුවේ යම් රසකාරකයක් අතුල්ලා පන්දුව පළුදු කළ බවට දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆාෆ් ඩුප්ලේසිට චෝදනා එල්ල වූ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය අභියෝගයකට ලක් කළේය.
කෙසේ නමුත්, එම ස්වාධීන පරීක්ෂණයේදී ඔහු වරදකරු වූ අතර ඔහුගේ තරග ගාස්තුවෙන් 100%ක දඩයක් ගෙවීමට සිදු විය.
ශ්‍රී ලංකා කණ්ඩායම විරෝධය පෑවේ ඇයි ?
සෙනසුරාදා දින තරගය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත වෙලාවට පිටියට නොපිවිසීම ගැනද මේ වන විට විවිධ චෝදනා එල්ල වෙමින් පවතියි.
කුමන චෝදනාවක් එල්ල වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පැය දෙකක කාලයක් තරග පිටියට නොපිවිසිම ක්‍රීඩාවට එතරම් යහපත් ආදර්ශයක් නොවන බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
සෙනසුරාදා තරගය ආරම්භ කිරීමට විනාඩි දහයකට පෙර කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල කිරීම මෙම ගැටළු සහගත තත්වයට හේතු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පැවසීය.
යම් ගැටළුවක් ඇත්නම් එය තරගය සිකුරාදා අවසන් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැනුම් නොදී සෙනෙසුරාදා දින තරගය ආරම්භයට විනාඩි දහයකට පමණ පෙර දැනුම්දීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායම සිය විරෝධය පළ කර තිබේ.
තවත් තොරතුරු:
පන්දුව මාරු කිරීමට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු පහක් ප්‍රදානය කිරීමේ තීරණය ගැනීමට පෙර පන්දුව පළුදු කළ බවට ඇති සාක්ෂි ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා කණ්ඩායම ඉල්ලීමක් කර ඇත.
නමුත් ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති අතර, කොළඹ සිටින ක්‍රිකට් බලධාරීන්ගේ උපදෙස් මත යළිත් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසී තිබේ.
පසුගිය වසරේ ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක දසුන් ශානක ද පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරු වූ අතර එහිදී ඔහුගේ තරග මුදලින් 75%ක් දඩ මුදල් වශයෙන් ගෙවීමට සිදුවිය.