ජලය නිසා IPL ක්‍රිකට් අර්බුදයක

ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලියෙහි චෙන්නායි නගරයේ පැවැත්වීමට යොදා තිබූ තරඟවලට එරෙහිව එල්ල වී ඇති මහජන විරෝධය හේතුවෙන් ඉදිරි තරඟ එහි නොපැවැත්වෙනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් බලධාරීහු පවසති.

එම මහජන විරෝධයට හේතුව 'කාවේරි' නදියේ ජලය බෙදා ගැනීම මුල්කර ගනිමින් තමිල්නාඩු ප්‍රාන්තය සහ අසල්වැසි 'කර්ණාටක' ප්‍රාන්තය අතර දිගුකලක සිට පවතින අර්බුදය වේ.

'කාවේරි' ගංගාවේ ජලය බෙදාහදා ගැනීම අතින් මතුව ඇති දිගුකාලීන අර්බුදය පමණක් නොව කර්ණාටක ප්‍රාන්තයත් සමඟ පවතින තවත් පරිසර ප්‍රශ්න මුල්කර ගනිමින් නැගෙන මහජන උදහස ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහිත් බලපා ඇත්තේ එම තරඟවලට එරෙහිව සංවිධානාත්මක මට්ටමින් විරෝධතා ව්‍යාපාරයක් පෙරට පැමිණීමත් සමඟය.

ඒ සමඟ ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අභියෝගයක් එල්ල වෙමින් ඇති අතර චෙන්නායි තරඟ වෙනත් ස්ථානයකට ගෙන යාමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් තීන්දු කරනු ලැබ ඇත.

'චෙන්නායි සුපර් කිංස්' ක්‍රිකට් සමාජය නියෝජනය කරන කණ්ඩායම, පසුගිය අඟහරුවාදා (අප්‍රියෙල් 10) ඔවුන් මෙවර තරඟාවලියෙහි තමිල්නාඩු ප්‍රාන්තයේ දී මුහුණ දුන් පළමු තරඟයට 'චීපෝක්' (Chepauk stadium) ක්‍රීඩාංගණයේ දී සහභාගී වූ අතර ඉන් අනතුරුව මතු වූ විරෝධය ඉහත කී පියවර කඩිනම්වීමට හේතු විය.

ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලිය 'විස්සයි විස්ස' (Twenty20) ක්‍රිකට් ලෝකයේ මහා සංදර්ශනය ලෙස සැලකේ.

'චෙන්නායි සුපර් කිංස්' ක්‍රිකට් සමාජය තමිල්නාඩු භූමියේ සහභාගී වීමට සැලසුම් කර තිබු ක්‍රීඩා තරඟ පවත්වනු ලබන ස්ථානය කොතැනකද? යන්න ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තවමත් නිවේදනය කරනු ලැබ නැත.

එම තරඟ චෙන්නායි නගරයෙන් ඉවත් කොට වෙනත් ස්ථානයකට ගෙන යාම ක්‍රිකට් බලධාරීන් මුලදී ප්‍රතික්‍ෂේප කරන ලද නමුත් අඟහරුවාදා විරෝධතා ව්‍යාපාරවලින් අනතුරුව ඊට එකඟ වීමට ඔවුන්ට සිදු විය.

"ඇත්තෙන්ම, අපට වෙනත් විකල්පයක් නැහැ. අපට තමිල්නාඩු ප්‍රාන්තයේ ක්‍රිකට්ලෝලීන් බැහැර කරන්න බැහැ. ඔවුන්ට සිය ක්‍රිකට් කණ්ඩායම දිරි ගැන්වීමට තියෙන අවස්ථාව නැති කරන්න අපට බැහැ. ඒ වගේම ක්‍රීඩාව ආරක්ෂා කරගත යුතුයි. නමුත් තමිල්නාඩු පොලිසිය ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසීමට ඉදිරිපත් වෙන්නේ නැහැ" IPL සභාපති රජීව් ෂුක්ලා 'ද හින්දු' පුවත්පතට ප්‍රකාශ කළේය.

අඟහරුවාදා තරඟය පැවැත්වෙද්දී ඊට විරෝධය දැක්වූ දෙදෙනෙකු ක්‍රීඩාංගණයට සපත්තු දෙකකින් පහර දුන් බවක් තමිල්නාඩු මාධ්‍ය වාර්තා කරයි.

'සුපර් කිංස්' ක්‍රිකට් ක්‍රීඩකයන් චෙන්නායි නගරයේ තවත් තරඟවලට සහභාගී වුවහොත් ක්‍රීඩාංගණයට සර්පයන් යොදන බවට දමිළ කණ්ඩායමක් තර්ජනය කර ඇත.

කෙසේවුවද, චෙන්නායි නගරයේ තමන් සහභාගී වෙන තරඟ වෙනත් ස්ථානයකට මාරු කිරීම ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු බිඳ වැටීමට හේතු වී ඇති බවද පැවසේ.

'කර්ණාටක' ප්‍රාන්තය සමඟ පවතින විරසකභාවය තවත් නරක අතට හැරීමත් සමඟ චෙන්නායි නගරයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ක්‍රිකට් තරඟ අවලංගු කරන මෙන් පසුගිය සඳුදා තමිල්නාඩු දේශපාලන පක්ෂ විසින් ද ඉල්ලා තිබුණි.

මේ අර්බුදයට මුල් වී ඇති 'කාවේරි' ගංගාවේ ජලය බෙදා ගැනීම සම්න්ධයෙන් තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත අතර පවතින අර්බුදය දහනව වෙනි සියවසේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තරම් ඈතට දිව යන්නකි.

අඟහරුවාදා පැවති තරඟයේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති බියසැක නිසා ක්‍රීඩාලෝලීන් විසින් 'චීපෝක්' (Chepauk stadium) ක්‍රීඩාංගණයට ගෙන ඒම තහනම් භාණ්ඩ ලැයිස්තුවක් ද ක්‍රිකට් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි.

ඒ අනුව මෝටර් රථවල යතුරු, ධජ පතාක, වතුර බෝතල්, ආහාර සහ ගමන් මළු තහනම් විය.

එපමණක් නොව ක්‍රීඩාලෝලීන් කළු ඇඳුමින් සැරසීම පවා තහනම් විය.

"කොල්කටා නයිට් රයිඩර්ස්" ක්‍රීඩා සමාජයට එරෙහි අඟහරුවාදා තරඟයේ ආරක්ෂාව සඳහා හාර දහසක පමණ පොලිස් බලකායක් නිරත කරනු ලැබ තිබුණි.

සබැඳි පුවත්;