ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
“ක්‍රිකට් දිනන්න ආශීර්වාදයත් අවශ්‍යයි”
ක්‍රිකට් තරඟ ජයග්‍රහණය කිරීම සඳහා ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය මෙන්ම ආශීර්වාදයත් වැදගත් වෙන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා එම ප්‍රකාශය කළේ අද (ඔක්තෝබර් 31) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුව අතරවාරයේ ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් තරඟාවලියකට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම තරඟාවලිය ජය ගත් අතර 'මෑණියන්' ලෙස ඇය හඳුන්වා ගන්නා කාන්තාවක් චන්දිමාල් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලයේ පළ කල අදහසක් මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයකට හේතු විය.
ශ්‍රී ලංකා කණ්ඩායම එම ටෙස්ට් තරඟාවලිය ජය ගත්තේ තමාගෙන් ලද ආශීර්වාදය නිසා යයි පවසන එම කාන්තාව දිනේෂ් චන්දිමාල් සමග ඇය පෙනී සිටින පිංතූරයක් ද ඇයගේ 'ෆේස් බුක්' පිටුවේ පළ කර තිබුණි.
අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති හමුවේ දී මාධ්‍යවේදියෙකු ඒ පිළිබඳව විමසීමක් කළ අතර ඊට පිළිතුරු දුන් දිනේෂ් චන්දිමාල්, අදාළ කාන්තාව තම මිතුරකුගේ මව බව කියා සිටියේය.
වෙනත් උත්සවයක් අතරතුර ගත් පිංතූරයක් ඇයගේ 'ෆේස් බුක්' පිටුවේ පළ කර තිබුණ බවත් දිනේෂ් චන්දිමාල් පවසයි.
"එම පිංතූරය පළ කළ ගංගා මහත්මිය පමණක් නෙවෙයි, වෙනත් ඕනෑම ආගමක ස්වාමීන් වහන්සේ කෙනෙක් වුනත් මට ආශීර්වාද කරනවා නම් මම ඒ ආශීර්වාදය භාර ගන්න ලෑස්තියි, එය එක් එක් පුද්ගලයා අදහන ආගමට අදාළ දෙයක්" දිනේෂ් චන්දිමාල් වැඩි දුරටත් සඳහන් කළේය.
එක් දින තරඟාවලියේ අසාර්ථක වුණේ එම ආශිර්වාදය නොමැති වූ නිසාදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට ඊට පිළිතුරු දුන් ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙලෙස කියා සිටියේය.
"එහෙම එකක් නැහැ, ආශීර්වාදය වගේම දක්‍ෂතාවයත් තියෙන්න ඕන. දක්ෂතාවය නැත්නම් මොන ආශීර්වාදය තිබුණත් ඉදිරියට යන්න බැහැ. ඒ වගේම දක්ෂතාවය තිබුණත් තමුන්නාන්සේලාගේ ආශීර්වාදය නැත්නම් ඒත් ඉදිරියට යන්න බැහැ"
තමාට ආශීර්වාද කළේ යයි පවසන 'ගංගා' නම් කාන්තාව වෙත තමා වෙනත් කිසිවකු විසින් යොමු නොකළ බව පැවසූ දිනේෂ් චන්දිමාල් ඇය තම මිතුරකුගේ මව බව අවධාරණය කළේය.
ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයක් ඔවුන් අතර පවතින විවිධ විශ්වාසයන් ක්‍රීඩාවේ ඉදිරියට ඒමට දායක කර ගන්නා බව නම සඳහන් කිරීමට අකමැති හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙක් බීබීසි සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.
"ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතාවය වගේම මානසික ශක්තියත් වැදගත්. ඒ නිසා ක්‍රීඩකයන් මේ ආකාරයේ විවිධ ආශීර්වාද ලබා ගන්නවා. එමගින් ඔවුන් මානසික වශයෙන් ශක්තිමත් කෙරෙනවා. ලෝක පූජිත සචින් තෙන්ඩුල්කාර් වගේ ක්‍රීඩකයන් පවා එවැනි ආශීර්වාද ලබා ගැනීම් සිදු කරනවා " හිටපු නායකයා පෙන්වා දෙයි.
ඇතැම් ක්‍රීඩකයන් තමන් ශතකයක් රැස් කළොත්, ඔහු එම දවසේ ඇඳ සිටි ඇඳුම දිගටම ඇදීමට ප්‍රිය කරන බවත්, ඇතැම් විට ක්‍රීඩාගාරයේ රැඳී සිටින ස්ථානයේ පවා වාසනාවක් ඇතැයිඇතැම් ක්‍රීඩකයන් විශ්වාස කරන බවත් එම හිටපු නායකයා හෙළි කළේය.
"එකේ කිසි වරදක් නැහැ. පීඩනයක් ඇති වුණාම මනස ශක්තිමත් කර ගන්න ඔය වගේ විවිධ ආශීර්වාද ලබා ගැනීම් සිදු කෙරෙනවා"
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා හා අසේල ගුණරත්න වැනි ආබාධ නිසා පසුගිය තරඟවලට අහිමි වූ ක්‍රීඩකයන් මීලඟ ඉන්දීය සංචාරයේ දී කණ්ඩායමට එක් වෙනු ඇතැයි ඉහත කී මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක් දින නායක උපුල් තරංග ප්‍රකාශ කළේය.
සබැඳි පුවත්;