එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සූදානම්ද?

කාන්තා ක්‍රිකට්

ඡායාරූප මූලාශ්‍රය, Nathan Stirk

එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය ඉරිදා (ජුලි 02) ටෝන්ටන්හිදී පැවැත්වීමට නියමිතය.

පසුගිය 29 වෙනිදා ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තරගයෙන් පරාජයට පත් වූ නමුත් ඔවුන්ට එරෙහිව සටනක් ලබා දීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව අගනා ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු ලකුණු 178 ක් රැස් කළේ වාර්තා පොත අලුත් කරමිනි.

ලෝක කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ ආරම්භක තරග දෙක පරාජයට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට හත් වන ස්ථානයේ පසුවේ.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 250 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් රැස් කිරීමට සිය කණ්ඩායම බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ඉනෝකා රණවීර පවසන්නීය.

චමරි අතපත්තු

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

මේ අතර හෙට පැවැත්වීමට නියමිත තරගය සඳහා වන සූදානම පිළිබඳ BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හේමන්ත දේවප්‍රිය කියා සිටියේ චමරි අතපත්තු දැක්වූ දක්ෂතා කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන්ගේ ද මානසික මට්ටම ඉහළ නැංවීමට හේතුවක් වූ බවය.

එංගලන්ත කණ්ඩායමේ දුර්වලතා හඳුනා ගනිමින් ජයග්‍රහණය කරා තරගය මෙහෙයවීමට බලාපොරොත්තු වන බව කී ඔහු එංගලන්තයේ කාලගුණික තත්ත්වයන්ට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ වනවිට හුරු වී ඇති බවත් සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාව සමග පසුගියදා පැවති තරගයේදී ද තරමක සීත කාලගුණයක් පැවති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එෂානි ලොකුසූරියට මෙවර තරගාවලිය තුළ සුපුරුදු පිති හරඹයට පැමිණීමට නොහැකි විය.

චමරි අතපත්තු සමග තවත් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට ලකුණු අතරට පැමිණීමට හැකි වූයේ නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කර ගත හැකිව තිබූ බව කී පුහුණුකරු හේමන්ත දේවප්‍රිය, එෂානි ලොකුසූරිය හෙට දින හොඳ ඉනිමක් ක්‍රීඩා කරනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.