චමරි අතපත්තුගෙන් වාර්තා ගත ඉනිමක්

චමරි අතපත්තු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට

කාන්තා ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (ජුනි 29) පැවති තරගයේ අගනා පිති හරඹයක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ක් රැස් කිරීමට සමත් වූවාය.

පන්දු 143 ක් තුළ රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් වේ.

වාර්තා කිහිපයක් බිඳ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 257 ක් රැස් කිරීමට සමත් විය.

චමරි අතපත්තුට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාව සශිකලා සිරිවර්ධනයි. ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 24 කි.

ඒ අනුව එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට පත් වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලකුණු 150 සීමාව පසු කළ පළමු අවස්ථාව ද මෙය වේ.

වාර්තා කිහිපයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

ලෝකයේ අංක එකේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස සැලකෙන ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.

වැඩිම ලකුණු ලබා ගත් සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා එම ස්ථානවලට පත්ව ඇත්තේ ඩෙන්මාර්කයට හා අයර්ලන්තයට එරෙහිවය.

ඒ හේතුවෙන් චමරි අතපත්තුගේ ඉනිම ලෝකයේ හොඳම කාන්තා එක් දින ඉනිම ලෙස හැදින්විය හැකි බව ක්‍රීඩා විචාරකයෝ පවසති.

ඊට අමතරව ක්‍රීඩිකාවක්, සිය කණ්ඩායම රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතයට හිමිකම් කීමේ ලෝක වාර්තාව ද චම්රි අතපත්තු හිමි විය.

වීඩියෝ ශීර්ෂ වැකිය, කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලැබිය හැකිද ?

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් කාන්තා ලෝක කුසලාන තරගයක රැස් කළ පළමු ශතකය මෙය වන අතර ශතක තුනක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශතක රැස් කළ එකම ක්‍රීඩිකාව ද ඇයයි.

තරගයෙන් අනතුරුව විස්තර විචාරකයන් සමග අදහස් පළ කරමින් චමරි අතපත්තු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පැවති පුහුණුවීම්වලදී පිරිමි 17 න් සහ 19 න් පහළ වේග පන්දු යවන්නන්ට මුහුණ දී තිබීම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට තමන්ට හැකිවූ බවය.

පසුගියදා නවසිලන්තය සමග පැවති තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර එම තරගයේ දී ද අර්ධ ශතකයක් රැස් කිරීමට චමරි අතපත්තු සමත් විය.