ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇන්ජලෝගේ නායකත්වයේ වෙනසක්? - තිලංගගෙන් පිළිතුරු
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල පවසයි.
"නැහැ අපිට එහෙම බලාපොරොත්තුවක් නැහැ. දැනට මේ කණ්ඩායමේ ඉන්න හොඳම නායකයා ඇන්ජලෝ මැතිව්ස්" යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
කෙසේ නමුත් තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයකුවන ඇන්ජලෝ මැතිව්ස් කීපවතාවක්ම ආබාධවලට ලක් වීම අවාසනාවන්ත තත්වයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සඳහන් කළේය.
කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් ලකුණු අතරට නොපැමිණීම හේතුවෙන් ඇතැම්විට ඔහු මීළඟ T20 තරගාවලියට සහභාගී නොවනු ඇති බවත් ඔහු පැවසීය.
"අපේ ඉන්න ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබා දීලා ඔවුන් උඩට ගත යුතුයි. ඉන්දියාවෙන් ගෙනත් ගහන්න බැහැනේ. අපේ ඉන්න ක්‍රීඩකයන් ගැන විශ්වාසයක් තියෙන්න ඕන. ඇන්ජලෝ මැතිව්ස් ගැන මට නම් හොඳ විශ්වාසයක් තියෙනවා. මට නම් ඔහු හොඳ නායකයෙක්" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇන්ජලෝ මත්ව්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කිරීමේ 'කුමන්ත්‍රණයක්' දියත්ව තිබෙන බවට ඩේලි මිරර් මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.
දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බරපතළ පරාජයකට මුහුණදීමෙන් අනතුරුව ඔහුගේ නායකත්වය පිළිබඳව ක්‍රීඩාලෝලීහු ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළකරති.