දෘශ්‍යාබාධිත ක්‍රිකට් 'ප්‍රධාන ධාරාවට ඇතුලත් කරන්න'

සිය සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුයුක්ත කරන මෙන් තමන් කළ ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් පළ වූ බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් සංගමය පවසයි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති රැස්වීමකදී ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායකවරයා සහ උප සභාපති මතිවානන් සමඟ සාකච්ඡා කළ බව පවසන සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර, සාකච්ඡාවක් සඳහා දිනයක් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් සඳහන් කළේය.

"අපිට තාම තිලංග සුමතිපාල මහත්තයත් එක්ක සාකච්ඡාවක් ලැබිල නෑ මේ වනතුරු. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා," සභාපතිවරයා බීබීසී සංදේශයට පැවසීය.

පාකිස්තානය වැනි ලොව වෙනත් රටවල් දැනටමත් දෘශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් සංගම් ප්‍රධාන ධාරාවේ ක්‍රිකට් පරිපාලනයට ඇතුලත් කරගෙන තිබෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා, පාකිස්තානය අත්සන් තැබූ ගිවිසුමේ පිටපතක් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ලබා දුන් බවත් සඳහන් කළේය.

දෘශ්‍යාබාධිතයන්ගේ ක්‍රිකට් සංගමය, ප්‍රධාන ධාරාවේ ක්‍රිකට් පරිපාලනයට අනුයුක්ත කරන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයද මීට ඉහතදී නිර්දේශ කර තිබේ.

ජනවාරි 26 වැනි දින ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ක්‍රිකට් ශූරතාවලිය වෙනුවෙන් දැනට පුහුණු කටයුතුවල නිරතව සිටින බවත් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති චමින්ද පුෂ්පකුමාර බීබීසී සංදේශයට පැවසීය.

"මෙවර තරගාවලිය සඳහා අපි අලුත් ක්‍රීඩකයන් තෝරාගෙන තිබෙනවා. තරගාවලියේ ජය තහවුරු කිරීම සඳහා අපි මේ දවස්වල කොළඹ පුහුණු කටයුතුවලත් නිරතව සිටිනවා," ඔහු පැවසීය.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් ප්‍රකාර මෙවර ඔවුන්ට පුහුණුවීම පිණිස ක්‍රීඩාංගන සහ පුහුණුකරුවකු මෙන්ම ඉන්දියාව බලා යාම පිණිස ගුවන් ප්‍රවේශපත්‍රද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී තිබේ.

2012 පැවති විස්සයි විස්ස ජගත් ශූරතාවලියේදී සහ 2014 සීමිත ඕවර 40 හෙ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීය.

"අපේ කණ්ඩායම දැන් ශක්තිමත්. දක්ෂ ක්‍රීඩකයන් ඉන්න නිසා විස්සයි විස්සයි තරගාවලියේ ජයග්‍රහණය අත්පත්කර ගැනීමට හැකිවේවි කියලයි මම විශ්වාස කරන්නේ."

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ තුන් වැනි ස්ථානයේ පසුවන බව පෙන්වාදෙන සංගමයේ සභාපතිවරයා, තවදුරටත් ඉදිරියට යාම පිණිස අනුග්‍රහය සපයන මෙන් ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක්ද කරයි.