ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දුර්වල ක්‍රීඩා විලාශය ගැන ඇන්ජලෝ මැතිව්ස් සමාව ඉල්ලයි
එංගලන්ත සංචාරයේදී දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩාලෝලීන් ගෙන් සමාව ඉල්ලා සිටියි.
එංගලන්තය සමඟ ටෙස්ට් තරඟාවලිය 2-0 කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම, එක් දින සීමිත ඕවර තරඟාවලියද 3-0 කින් පරාජයට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දීර්ඝ එංගලන්ත සංචාරයේදී තවත් ඉතිරිව තිබෙන්නේ අඟහරුවාදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම යාන්තමින් හෝ ජයග්‍රහණයට සමීප වූයේ ජය පැරදුමෙන් තොරව නිමා වූ ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගනයේ පැවති පළමු එක් දින තරඟයේදී පමණයි.
"සමහරු අපිව පිළිකුල් කරාවි, සමහරු දිගටම අපිට ආදරය කරාවි. ඔබේ බලාපොරොත්තු කඩ කිරීම ගැන කණගාටුයි," බවයි ඇන්ජලෝ මැතිව්ස් ට්විටර් පණිවුඩයක සඳහන් කරන්නේ.
"මේක අසීරු කාලයක් නමුත් අපි ඉක්මනින් යළිත් හිස ඔසවනවා."
සෙනසුරාදා කාඩිෆ් නුවර පැවති සිවු වැනි එක් දින තරඟය පරාජය වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් හය වැනි ස්ථානය දක්වා පහල වැටුණු අතර, එංගලන්තය ශ්‍රී ලංකාව අභිබවමින් පස් වැනි ස්ථානයට පත් විය.
එසෙක්ස් සහ ලෙස්ටර්ශයර් ප්‍රාන්ත කණ්ඩායම්වලට එරෙහිව පැවති පුහුණු තරඟ ජය පරාජයෙන් තොරව නිමාවීමෙන් අනතුරුව, සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ අයර්ලන්තයට එරෙහි එක් දින තරඟ දෙක පමණයි.
තරඟාවලිය අතරවාරයේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ටෙස්ට් කඩුලු 300 ක් රැස් කළ තෙවැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමට සමත්විය.
ලහිරු තිරිමාන්න, ධම්මික ප්‍රසාද් සහ දුෂ්මන්ත චමීර තිදෙනාටම ආබාධ හේතුවෙන් යළි ශ්‍රී ලංකාව බලා යාමට සිදු වූ අතර, නායක මැතිව්ස්, උප නායක දිනේෂ් චන්දිමාල් සහ ෆර්වීස් මහරූෆ් තිදෙනාම සිය ආබාධිත තත්වය නොතකා දිගටම ක්‍රීඩා කළහ.