ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝඩ්ස් තරඟය : ජේම්ස් ඇන්ඩර්සන්ට අයිසීසී යෙන් අවවාද
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති රීති වලට පටහැණිව කටයුතු කිරීමේ චෝදනාව පිළිගත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ජේම්ස් ඇන්ඩර්සන්ට නිල වශයෙන් අවවාද කළ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
ලෝඩ්ස් පිටියේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන් වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනයේදී හටගත් සිදුවීමක් සම්බන්ධයෙන් ඇන්ඩර්සන්ට එසේ අවවාද කළ බව අයිසීසීය නිකුත් කළ නිවේදනයක සඳහන්.
තරඟයේ ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ක්‍රීඩා කරමින් සිටිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේපිතිකරු රංගන හේරත් සමග වාචික ගැටුමකට නොයන ලෙස විනිසුරු එස් රවී ජේම්ස් ඇන්ඩර්සන්ට දැනුම් දුන් අවස්ථාවේ ඔහු දැක්වූ ප්‍රතිචාරය මගින් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වූ බව අයිසීසී යේ නිගමණයයි.
වරද පිළිගත් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟ විනිසුරන්ගේ සංගමයේ සාමාජික ඇන්ඩි පික්‍රොෆ්ට් විසින් යෝජිත දඬුවමද පිළිගෙන තිබේ.
මෙවැනි ආකාරයේ පළමු මට්ටමේ වරදක් සඳහා අවවාද කිරීම, තදින් දෝෂාරෝපණය කිරීම සහ/ නැතහොත් තරඟ ගාස්තුවෙන් 50% අයකරගැනීම වැනි දඬුවමකට යටත්වීමට සිදුවේ.
මේ අතර ලන්ඩනයට පතිතවෙමින් තිබෙන වර්ෂාව හේතුවෙන් ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන තරඟය ඉරිදා දිවා ආහාරය දක්වාම ආරම්භ කිරීමට නොහැකි විය.