'මඩතවාලු' යළි කුඹුරට

ඡායාරූප මූලාශ්‍රය, aecid.org.sv
එළඹෙන මාස් කන්නයේ සිට කෘෂි රසායන ද්‍රව යොදා නොගෙන රජරට කුඹුරු අක්කර පනස් දහසක් වගා කිරීම පිණිස ගොවීන්ට බිත්තර වී නොමිලේ බෙදා දීමේ ව්‍යාපෘතියකට විශේෂ ව්‍යාපෘති පිළිබඳ අමාත්‍යාංශය මැදිහත් වෙයි.
විශේෂයෙන්ම රජරට ප්‍රදේශයේ පැතිර යමින් පවතින වකුගඩු රෝගයෙන් අනාගත පරපුර බේරා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි, ව්‍යාපෘතිය මෙහෙයවන රජ රට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසන්නේ.
ශ්‍රී ලංකාවාසීන් විසි දෙනකුවත් දිනකට වකුගඩු රෝගයෙන් මිය යන බව විශ්වාස කෙරෙන අතර, රෝගයට හේතුව කෘෂි රසායන භාවිතය බව සනාථ වී ඇති බවයි, වෛද්‍ය චන්න ජයසුමන බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී සඳහන් කළේ.
පාරම්පරික වී වර්ග
“ප්‍රශ්නය වී තිබෙන්නේ දැන් පාවිච්චි කරන වී වර්ග කෘෂි රසායන නැතිව වගා කරන්න බැහැ. කෘෂි රසායන නැතිව වවන්න පුළුවන් වන්නේ පැරණි වී වර්ග පමණයි. ඒ නිසා එවැනි පැරණි වී වර්ග ගොවීන්ට නොමිලේ බෙදා දී කෘෂි රසායන නැති ගොවිතැනක් ආරම්භ කිරීම ව්‍යාපෘතියේ අරමුණයි” වෛද්‍ය චන්න ජයසුමන පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
කළු හීනැටි, මඩතවාලු, කුරුළු තුඩ වැනි කෘෂි රසායන අනවශ්‍ය පැරණි වී වර්ග ගම් කීපයක සුරැකී තිබුණ බව පවසන වෛද්‍යවරයා ඒවා ප්‍රචලිත කෙරෙන ව්‍යාපෘතිය මෙයින් කන්න හතරකට පෙර ආරම්භ කළ බවත් කියා සිටී.
බිත්තර වී
අක්කර කාලකින් පටන් ගත් එම වගා ව්‍යාපෘතිය මේ වනවිට අක්කර දෙදාහක් තරම් ව්‍යාප්ත වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. එහි අස්වැන්න ඉදිරි මාස් කන්නයේ බිත්තර වී හැටියට බෙදා දීම වෛද්‍ය චන්න ජයසුමන අයත් ව්‍යාපෘතියේ සැලැස්මයි.
කෘෂි රසායන භාවිතය වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව වී ඇති හෙයින් මෙම විකල්ප කෘෂි ව්‍යාපෘතිය එම රෝගය මුලිනුපුටා දැමීමට මාර්ගයක් වන්නේය යන්න වෛද්‍ය චන්න ජයසුමනගේ විශ්වාසයයි.