වොඩ්කා නිසා අකල් මරණ

රුසියාවේ පිරිමි සැලකිය යුතු ප්‍රමාණයක් අකලට මිය යන බවත් මීට ප්‍රධාන හේතුව වොඩ්කා ප්‍රමුඛ කොට ගත් අධික මද්‍යසාර පානය බවත් සමීක්ෂණයකින් හෙළි වෙයි.

වොඩ්කා පානයට රුසි රුසියානුවෝ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, වොඩ්කා පානයට රුසි රුසියානුවෝ

රුසියානු පිරිමින්ගෙන් සියයට විසි පහක් වයස අවුරුදු පනස් පහ පිරීමට පෙර මිය යන බවයි මෙම සමීක්ෂණ වාර්තාව සඳහන් කරන්නේ.

රුසියානුවන් එක් ලක්ෂ පනස් දහසක් යොදා ගෙන මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර ඔවුන් වසර දහයක් තිස්සේ පානය කර ඇති මද්‍යසාර ප්‍රමාණය ගණන් බලා තිබේ.

අධික මත්පැන් පානය නිසා ඇති වන හදිසි අනතුරු, ප්‍රචණ්ඩ ක්‍රියා, දිවි නසා ගැනීම්, පිළිකා වැනි රෝග සහ මත්පැන් විෂ වීම් වලට ගොදුරු වීමෙන් රුසියානුවන් විශාල ප්‍රමාණයක් අකලට මිය යන බව මෙහිදී හෙළිදරව් වී ඇත.

රුසියාවේ දේශපාලන වාතාවරණය මත ද මෙම මරණ ප්‍රතිශතය ඉහළ - පහළ ගොස් ඇති බව මේ සමීක්ෂණයේ දී හෙළි වී ඇති තවත් කරුණකි.

කොමියුනිස්ට් වාදය බිඳ වැටීමෙන් අනතුරුව රුසියාවේ ඇති වූ අස්ථාවර භාවය හමුවේ, වැඩි පිරිසක් බීමට ඇබ්බැහි වී ඇති අතර එමගින් සිදු වූ මරණ ප්‍රතිශතය ද ඉහළ ගොස් ඇත.