ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මධුසමයේදී සැමියාව ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ ඉන්දීය මනාලියක් අත්අඩංගුවට
- Author, ගීතා පාණ්ඩේ
- Role, බීබීසී පුවත්, දිල්ලි
මධුසමය ගත කරමින් සිටියදී සිය සැමියා අමානුෂික ලෙස ඝාතනයට ලක්වීමෙන් පසු අතුරුදන්ව සිටි කාන්තාවක්, භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.
මෙම මනාලිය ද මරා දමා හෝ පැහැරගෙන ගොස් ඇති බවට යුවළගේ පවුල් චෝදනා කර සිටි අතර, ඇය සෙවීමට විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් ද දියත් කළහ.
ඊසාණදිග කුඩා ප්‍රාන්තයක් වන මෙඝාලයා ප්‍රාන්තයට මධු සමයට ගිය ගමනේදී 25 හැවිරිදි සෝනම් රඝුවන්ෂි විසින් ඇගේ 30 හැවිරිදි සැමියා වන රාජා ඝාතනය කිරීම සඳහා ඝාතකයින් කුලියට ගෙන ඇතැයි පොලිසිය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
සෝනම්ගේ පියා වන දේවි සිං තම දියණිය වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ "ඇය අහිංසකයි, එයාට මේක කරන්න බෑ" යනුවෙනි.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ පදිංචි මෙම අලුත විවාහ වූ යුවළ තම මධුසමය සඳහා මෙඝාලයා තෝරා ගත්තේ එහි "ඉතා සුන්දර නිම්න" ඇතැයි අසා ඇති නිසා බව රාජාගේ සහෝදරයා වන සචින් රඝුවංශි, සෝනම් අත්අඩංගුවට ගැනීමට පෙර බීබීසීයට පැවසීය.
මෙම යුවළ මැයි 11 වන දින ඉන්දෝර්හිදී ඔවුන්ගේ පවුල් දෙකෙහි ම ආශිර්වාද මැද පැවති මංගල උත්සවයකදී විවාහ වූහ.
"ඔවුන්ගේ විවාහය මාස හතරකට කලින් සැලසුම් කරලා තිබ්බේ. දෙන්න ම හරි ම සතුටින් හිටියේ, විවාහයට කලින් හෝ ඊට පස්සේ දෙන්නා අතර කිසිදු ආරවුලක් තිබ්බේ නෑ," රාජාගේ අනෙක් සහෝදරයා වන විපින් රඝුවංශි පැවසීය.
මෙම යුවළ මැයි 20 වන දින මෙඝාලයා බලා පිටත්ව ගියහ. නමුත් ඔවුන්ගේ ගමනෙන් දින හතරකට පසු ඔවුන් අතුරුදහන් විය.
පොලිසිය සහ ආපදා සහන කණ්ඩායම්, ප්‍රදේශවාසීන් සමඟ එක්ව යුවළ සෙවීමට කටයුතු ක්‍රියාත්මක කළහ. මීදුමෙන් වැසී ඇති නිම්නවල කඳු සහ කඳු බෑවුම් දිගේ ගලවා ගැනීමේ කණ්ඩායම් පහළට ගමන් ගන්නා අයුරු වීඩියෝ දර්ශනවල පෙනෙන්නට තිබිණි. වර්ෂාව සහ දැඩි මීදුම් තත්ත්වය සෝදිසි මෙහෙයුම්වලට බාධා කරන බව නිලධාරීහු පැවසූහ.
සතියකට පසු, රාජාගේ නරක් වූ සිරුර ගිරි දුර්ගයක තිබී හමූවූ අතර ඔහුගේ උගුර කපා දමා තිබුණු අතර ඔහුගේ මුදල් පසුම්බිය, රන් මුද්දක් සහ මාලයක් අතුරුදන් ව තිබිණි. සෝනම් ගැන කිසිදු හෝඩුවාවක් නොවූ අතර ඇය අතුරුදන්ව සිටියේ ය.
රාජාගේ ඝාතනය ගැන සෙවීමට හෝ සෝනම් ගැන සෙවීමට මෙඝාලයා පොලිසිය ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින් ඔවුන්ගේ පවුල් විශාල ව්‍යාපාරයක් දියත් කළහ. - එහෙත් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.
නිසි පරීක්ෂණයක් සඳහා නඩුව ෆෙඩරල් පොලිසියට භාර දෙන ලෙස යුවළගේ පවුල් ඉල්ලා සිටි අතර, මේ සඳහා බලපෑම් කිරීම සඳහා ඔවුන්ගේ මව් ප්‍රාන්තයේ බලගතු කුල නායකයින් සහ ෆෙඩරල් අමාත්‍යවරුන් ද හමුවිය.
රාජාට යුක්තිය ඉටුකර දෙන ලෙස සහ සෝනම්ව සොයා දෙන ලෙස ඉල්ලා ඔවුන් පසුගිය සිකුරාදා, අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් ද යොමු කර තිබිණි.
නමුත් සඳුදා උදෑසන මෙඝාලයා පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ඉදෂිෂා නොන්ග්‍රෑන්ග් පැවසුවේ, සෝනම් උත්තර් ප්‍රදේශ්හි ගාසිපූර් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට භාර වූ බව ය.
මෙම යුවළගේ උපන් ප්‍රාන්තය වන මධ්‍ය ප්‍රදේශ්හිදී තවත් සැකකරුවන් තිදෙනෙකු රාත්‍රියේ කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බව ඇය පැවසුවාය.
"උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා, තවත් සැකකරුවෝ දෙන්නෙක් ඉන්දෝර් වලින් අත්අඩංගුවට ගත්තා. සෝනම් නන්දිගන්ජ් පොලිස් ස්ථානයට භාර වූ වීමෙන් පස්සේ අත්අඩංගුවට ගත්තා."
පසුව, මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් අධිකාරී විවේක් සයිම් පැවසුවේ සඳුදා උදෑසන මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙඝාලයා ප්‍රාන්තයෙන් හතරවන සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
රාජාගේ ඝාතනයට කිසිදු හේතුවක් ඔහු සඳහන් නොකළ නමුත් සෝනම් "ප්‍රධාන සැකකරු" ලෙස විස්තර කළේය.
"සෝනම් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් එක් අයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක සිටියාද" යන්න පිළිබඳ මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සයිම් පැවසුවේ "ඔබ හිඬස් සහිත තැන් එකතු කළහොත් ඒක එහෙම පෙනයි" යනුවෙනි. නමුත් මෙම තොරතුරු සත්‍යාපනය කළ හැක්කේ දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව පමණක් බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.
සෝනම්ගේ පියා වන දේවි සිං ANI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ තම දියණිය "ගාසිපූර් හි [මාර්ග අයිනේ ආපන ශාලාවකට] ගිහිල්ලා ජංගම දුරකථනයක් ඉල්ල ගෙන එයාගේ සහෝදරයාට කතා කළා, ඊට පස්සේ එයා පොලිසියට කතා කළා" යනුවෙනි.
තම දියණිය සමඟ කතා කිරීමට නොහැකි වූ නමුත් ඇය "කෙසේ හෝ ඇයව අල්ලා ගත් අයගෙන් බේරීමට සමත් වෙලා" යැයි තමා විශ්වාස කළ බවත් ඇය "අහිංසක" බවත් සිං පැවසීය.
මෙඝාලයා පොලිසිය "කතා ගොතන" බවට ද සිං චෝදනා කළ අතර සත්‍යය සොයා ගැනීම සඳහා ෆෙඩරල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගෙන් ඉල්ලා සිටියේය.
රාජාගේ සහෝදරයා වන විපින් රඝුවන්ෂි වාර්තාකරුවන්ට පැවසුවේ "සෝනම් පාපොච්චාරණයක් කරන තුරු ඝාතනයට ඇය සම්බන්ධ බව පිළිගන්නේ නැහැ" යනුවෙනි.
පසුව ඔහු පැවසුවේ පොලිසිය විසින් නම් කරන ලද අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් එක් අයෙකු සෝනම්ගේ කාර්යාලයේ සේවය කළ අයෙකු බවයි.
"මේක පැහැදිලි කරන්න පුළුවන් සෝනම්ට විතරයි," ඔහු පැවසීය. "ඇය වැරදි නම්, ඇයට දඬුවම් කරන්න ඕනේ."
නඩුව විසඳීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නා බවට මීට පෙර, මෙඝාලයා පොලිසිය සහ ප්‍රාන්ත රජය විවේචනය කළ රඝුවන්ෂි , "මෙඝාලයා රජය බොරු කියන්නේ නෑ කියලා මම දැන් විශ්වාස කරනවා. ඔවුන් කියන්නේ ඇත්ත" යනුවෙන් පැවසීය.
සඳුදා උදෑසන, පුවත පළවීමෙන් පසු, මෙඝාලයා ප්‍රධාන අමාත්‍ය කොන්රාඩ් සංග්මා තම ප්‍රාන්ත පොලිස් බලකායට ප්‍රශංසා කරමින් කියා සිටියේ ඔවුන් දින හතක් තුළ "විශාල ප්‍රගතියක්" අත්කර ගෙන ඇති බවයි. තවත් අමාත්‍යවරයෙකු වන ඇලෙක්සැන්ඩර් ලාලූ හෙක් පැවසුවේ සෝදිසි කිරීම් සිදුවෙමින් පවතින අතරතුර ප්‍රාන්ත පොලිසියට, රජයට සහ සාමාන්‍ය ජනතාවට පවා අසාධාරණ ලෙස දොස් පවරා ඇති බවයි.
"ඇත්ත එළියට ඇවිල්ලා තියෙනවා," ඔහු පැවසීය.