ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප්ට ඇමෙරිකාවේ සිටින සංක්‍රමණිකයින් මිලියන ගණනක් පිටුවහල් කළ හැකි ද?
- Author, බේන්ඩ් ඩෙබුෂ්මන්, මයික් වෙන්ඩ්ලිංග් සහ වැලන්ටීනා ඔරොපෙසා විසිනි
- Role, බීබීසී
ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරන බව පැහැදිලි වීමත් සමග 47 හැවිරිදි නෝරා කලබලකාරී මැතිවරණ රාත්‍රියක් ගත කළා ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය හිමි දියණියන් දෙදෙනෙකු වන 30 හැවිරිදි ක්‍රිස්ටෙල් සහ 19 හැවිරිදි ලෙයා සිටියද විනාශකාරී සුළි කුණාටුවක් හේතුවෙන් නිකරගුවාවේ සිට ඇමෙරිකාවට පැමිණ වසර 24ක් ගතව ඇතත්, ඇය තවමත් ලේඛනගත වී නොමැත.
ඇය බීබීසී වෙත පැවසුවේ, "මට නිදිමත යි. එත් නින්ද යන්නේ නැහැ. හිතට ආයේ බයක් දැනෙනවා," ඇයගේ සංක්‍රමණ තත්ත්වය හේතුවෙන් නිර්නාමික බව සුරකින ලෙස ඇය ඉල්ලා සිටියාය.
දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණ ඇති බැවින්, මිලියන ගණනක් වන අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට ඔහු මැතිවරණ සමයේදී දුන් පොරොන්දුව ඉටු කරනු ඇතැයි නෝරා බියට පත්ව සිටියි.
මෑත ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ට්‍රම්ප් කියා සිටියේ, "අප ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම පිටුවහල් කිරීම සිදු කිරීමට සූදානම්" බවයි.
"අපි මිලියනයකින් පටන් ගනිමු... ඊට පස්සේ අපිට එතනින් එහාට යන්න පුළුවන්." ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජේ.සී. වෑන්ස්, ABC ප්‍රවෘත්ති සමඟ මෑතක පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඊට යම් විස්තරයක් එක් කළේය.
කෙසේ වෙතත්, විශේෂඥයින් අනතුරු අඟවන්නේ එවැනි දැවැන්ත මෙහෙයුමකදී සැලකිය යුතු නීතිමය සහ සැපයුම් බාධකයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ අනවසර සංක්‍රමණිකයන් කොපමණ සිටී ද?
නවතම ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ Pew පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ 2022 වන විට එක්සත් ජනපදයේ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් මිලියන 11 ක් පමණ සිටි බව ය, එය ඇමෙරිකාවේ සමස්ත ජනගහනයෙන් 3.3% ක් පමණ වේ.
2005 සිට එම සංඛ්‍යාව සාපේක්ෂව ස්ථාවරව පවතින නමුත්, මානුෂීය බලපත්‍ර යටතේ කියුබාව, වෙනිසියුලාව, හෙයිටි සහ නිකරගුවාවෙන් පැමිණි සංක්‍රමණිකයන් 500,000 ක් පමණ නිල දත්තවල සම්පූර්ණයෙන්ම පිළිබිඹු නොවිය හැකි බවට Pew අනතුරු අඟවයි.
බොහෝ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් දිගු කලක් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ඇති අතර, ඔවුන් ගෙන් 80%ක් පමණ පිරිස වසර 10කට වැඩි කාලයක් එහි සිට ඇත. ඔවුන්ගෙන් අඩක් පමණ මෙක්සිකෝවෙන් පැමිණි අය වන අතර අනෙක් අය ග්වාතමාලාව, එල් සැල්වදෝරය සහ හොන්ඩියුරාස් යන රටවලින් පැමිණි පුද්ගලයින් වේ.
ඔවුන් කැලිෆෝනියා, ටෙක්සාස්, ෆ්ලොරිඩා, නිව් යෝර්ක්, නිව් ජර්සි සහ ඉලිනොයිස් යන ප්‍රාන්ත හයක සංකේන්ද්‍රණය වී සිටියි.
නීතිමය අභියෝග
අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට පෙර අධිකරණ නඩු විභාගයක් ඇතුළුව නියමිත ක්‍රියාවලියට මුහුණ දීමට ලේඛන ගත නොවූ සංක්‍රමණිකයින්ට අයිතිය ඇත. පිටුවහල් කිරීම්වල සැලකිය යුතු වැඩිවීමක් සඳහා දැනටමත් පසුබෑමකට ලක්ව ඇති සංක්‍රමණ අධිකරණ පද්ධතියේ පුළුල් විවිධාංගීකරණයක් අවශ්‍ය වනු ඇත.
බොහෝ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ ක්‍රමයට ඇතුළු වන්නේ ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය සමඟ සෘජු සම්බන්ධතා හරහා නොව, ප්‍රාදේශීය නීති බලාත්මක කිරීම හරහායි. කෙසේ වෙතත්, බොහෝ විශාල ඇමෙරිකානු නගර සහ ප්‍රාන්තවල ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය සමඟ පොලිස් සහයෝගීතාව සීමා කරන නීති ඇත.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය "අභයභූමි නගර" වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පොරොන්දු වී ඇති, නමුත් රටේ දේශීය, ප්‍රාන්ත සහ ෆෙඩරල් නීතිවල සංකීර්ණ මිශ්‍රණය මෙය දුෂ්කර කරනු ඇත.
සංක්‍රමණ ප්‍රතිපත්ති ආයතනයේ (MPI) ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු වන කැත්ලීන් බුෂ්-ජෝසප් පවසන්නේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය සහ පළාත් පාලන ආයතන අතර සහයෝගීතාවය ඕනෑම සමූහ පිටුවහල් කිරීමේ සැලසුමක් සඳහා "තීරණාත්මක" වනු ඇති බවයි.
"ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන් සහයෝගයෙන් කටයුතු කරන්නේ නම්, ඔවුන් සෙවීම සඳහා යාම වෙනුවට, සිරගෙයින් කෙනෙකු රැගෙන යාම ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සියට වඩා පහසුය," ඇය පැවසුවාය.
එහෙත් ෆ්ලොරිඩාවේ බ්‍රෝවර්ඩ් සහ පාම් බීච් ප්‍රාන්තවල ෂෙරිෆ් කාර්යාලවල ප්‍රකාශයක් උපුටා දක්වමින් බුෂ්-ජෝසප් පවසන්නේ බොහෝ දෙනෙක් ට්‍රම්ප්ගේ සමූහ පිටුවහල් කිරීමේ සැලැස්ම සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බවයි.
ඕනෑම සමූහ පිටුවහල් කිරීමේ සැලැස්මක් සංක්‍රමණ සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අයගෙන් ක්ෂණික නීතිමය අභියෝගවලට මුහුණ දීමට ඉඩ ඇත.
කෙසේ වෙතත්, 2022 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව, අධිකරණ විසින් නීතිමය අභියෝග සමාලෝචනය කළත් ආගමන නීති බලාත්මක කිරීම අඛණ්ඩව සිදුකිරීමට අවසර දෙයි.
ප්‍රවාහන අභියෝග
ඇමෙරිකා එක්සත් ජනපද පරිපාලනයකට මෙම සැලසුම් නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළ හැකි වුවද, බලධාරීන්ට දේශසීමාවේ මෙන්ම රට අභ්‍යන්තරය තුළ දැවැන්ත සැපයුම් අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත.
බයිඩන් පරිපාලනය යටතේ, පිටුවහල් කිරීම්දී ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ඇත්තේ මෑතකදී දේශසීමාවේ අත්අඩංගුවට ගෙන සිටින සංක්‍රමණිකයන් ය. ඔබාමා පාලනයේ මුල් කාලයේ වාර්ෂිකව 230,000ක් දක්වා පිටුවහල් කිරීම් සංඛ්‍යාව වැඩි වීමකින් පසු, පසුගිය දශකය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය තුළින් පිටුවහල් කිරීම් වසරකට 100,000ට වඩා අඩු මට්ටමක පැවතුණි.
"එක් වසරක් තුළ එය මිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා දැනට නොමැති විශාල සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත," සංක්‍රමණිකයින්ට සහය පළකරන උපදේශක කණ්ඩායමක් වන ඇමරිකානු සංක්‍රමණ කවුන්සිලයේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඒරෝන් රයික්ලීන් - මෙල්නික් පැවසීය.
ඇමෙරිකා එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ වත්මන් නියෝජිතයින් 20,000 සහ කාර්ය මණ්ඩලයට, ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය අපේක්ෂා කරන සංඛ්‍යාවලින් කොටසක් පවා සොයා ගැනීමට හැකිවේදැයි විශේෂඥයෝ සැක කරති.
පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය දිගු හා සංකීර්ණ වන අතර එය ආරම්භ වන්නේ ලේඛනගත නොකළ සංක්‍රමණිකයෙකු හඳුනා ගැනීම සහ අත්අඩංගුවට ගැනීමෙන් පමණක් බව රයික්ලීන් - මෙල්නික් වැඩිදුරටත් පැවසීය.
ඉන් පසු, රැඳවියන් සංක්‍රමණික විනිසුරුවරයෙකු හමුවට පැමිණවීමට වසර ගණනාවක් ගතවන අතර එතෙක් ඔවුන්ව 'විකල්ප රැඳවුම් ස්ථානයකට" ඇතුළත් කළ යුතුය.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් රැඳවියන් ඉවත් කරනු ලබන්නේ ඉන් පසුව වන අතර, ඔවුන් භාර ගන්නා රටෙන් ද රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවය අවශ්‍ය වේ.
"ඒ සෑම ප්‍රදේශයක ම, ආගමන හා රේගු බලාත්මක කිරීමේ නියෝජිතයින්ට මිලියන සංඛ්‍යාත ජනතාවක් පිරික්සීමට හැකියාවක් නැහැ," රීච්ලින්-මෙල්නික් පැවසීය.
පිටුවහල් කිරීමේ කාර්ය සඳහා ජාතික ආරක්ෂක බළකාය හෝ වෙනත් හමුදා බලකායන් සම්බන්ධ කර ගැනීමට ට්‍රම්ප් යෝජනා කර ඇත.
ඓතිහාසික වශයෙන්, සංක්‍රමණ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ භූමිකාව එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ කටයුතුවලට සහාය දැක්වීමේදී සීමා වී ඇති අතර ට්‍රම්ප් ඔහුගේ සැලැස්ම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විස්තර කිහිපයක් ලබා දී ඇත.
මෙම වසර මුලදී ටයිම් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් යෝජනා කළේ නව සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන ගොඩනැගීම පිළිබඳවය. එමෙන්ම සහයෝගීතාවය වෙනුවෙන් දිරිගැන්වීම් සමඟින් නඩු පැවරීමෙන් වැළකී සිටිම සඳහා පොලිස් මුක්තිය ලබාදීම ද ඒ අතර විය.
දැඩි සංක්‍රමණ පාලනයන්ට සහාය දක්වන NumbersUSA හි පර්යේෂණ අධ්‍යක්ෂ එරික් රූආර්ක්, ශක්තිමත් දේශසීමා නීති බලාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.
"එය ප්‍රමුඛතාවය විය යුතුය. එසේ නොමැතිව රට ඇතුළේ ලොකු දියුණුවක් නෑ. ඒක තමයි මිනිස්සු එන්නෙ," ඔහු පැවසීය.
එහෙත් ලේඛන නොමැති සේවකයන් බඳවා ගන්නා සමාගම්වලට එරෙහිව දැඩි පියවර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.
"ඔවුන් රැකියා සඳහා එනවා, ඔවුන් ඒවා ලබා ගන්නේ අභ්‍යන්තර බලාත්මක කිරීම මූලික වශයෙන් ඉවත් කර ඇති නිසා." ඔහු පැවසීය.
මූල්‍ය හා දේශපාලන වියදම්
විශේෂඥයන් ඇස්තමේන්තු කරන පරිදි පුද්ගලයන් මිලියනයක් හෝ ඊට වැඩි ගණනක් පිටුවහල් කිරීමේ වියදම ඩොලර් මිලියන හෝ බිලියන සිය ගණනක් විය හැකිය.
2023 දී ප්‍රවාහනය සහ පිටුවහල් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සියේ අයවැය වියදම ඩොලර් මිලියන 420ක් විය. එම වසරේ ඒජන්සිය විසින් පුද්ගලයින් 140,000 කට වඩා වැඩි පිරිසක් පිටුවහල් කරන ලදී.
රීච්ලින්-මෙල්නික්ට අනුව රැඳවුම් මධ්‍යස්ථාන ගොඩනැගීම සහ ඉවත් කිරීමේ ගුවන් ගමන් පුළුල් කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය වේ. එය ඩොලර් මිලියන දස හෝ සියගණනක් විය හැක.
ට්‍රම්ප්ගේ අනෙකුත් දේශසීමා පොරොන්දු අතර දකුණු දේශසීමා තාප්පය නිම කිරීම, නාවික අවහිරයක් නිර්මාණය කිරීම සහ දහස් ගණනක් හමුදා යෙදවීම ද සම්පත් සඳහා තරග කරනු ඇත.
සංක්‍රමණ සහ දේශසීමා විශේෂඥයෙකු වන ඇඩම් ඉසැක්සන් පැවසුවේ, සමූහ වශයෙන් පිටුවහල් කිරීම පිළිබඳ "බියකරු සිහිනය" ට්‍රම්ප් පරිපාලනයේ මහජන ප්‍රතිරූපයට හානි කළ හැකි බවයි.
"ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම ප්‍රජාවක්ම ඔවුන් දන්නා සහ ආදරය කරන පුද්ගලයින් බස් රථවල සිටිනවා දකිනු ඇති. ඔබට රූපවාහිනියේ අඬන දරුවන්ගේ සහ පවුල්වල ඉතා වේදනාකාරී ඡායාරූප දක්නට හැකි වනු ඇත. ඒ සියල්ල ඇදහිය නොහැකි තරම් නරක මාධ්‍යන් වේවි. එය බලාපොරොත්තු වුවාට වඩා පවුලෙන් වෙන්වීමක්." ඔහු අනතුරු ඇඟවීය.
සමූහ පිටුවහල් කිරීම් මීට පෙර සිදුවී තිබේ ද?
ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය වූ වසර හතරක් තුළ මිලියන 1.5 ක පමණ ජනතාවක් පිටුවහල් කරන ලද අතර බයිඩන් පරිපාලනයේ සංඛ්‍යා සමග මෙම සංඛ්‍යාවන් ගැලපේ.
ඔබාමාගේ වාර දෙක තුළදී, මිලියන තුනකට අධික ජනතාවක් පිටුවහල් කරන ලද අතර, සමහර සංක්‍රමණ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින්නන් ඔහුට "ප්‍රධාන පිටුවහල් කරන්නා" යන අන්වර්ථ නාමය පටබඳින ලදී.
නමුත් සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ ආසන්නතම ඓතිහාසික උදාහරණය 1954 දී සිදු විය, ඔපරේෂන් වෙට්බැක් මෙහෙයුමේදී මිලියන 1.3 ක් දක්වා මිනිසුන් පිටුවහල් කරන ලද අතර එය මෙක්සිකානු ජනතාවට එරෙහිව පොදුවේ භාවිතා කරන ලද නින්දිත අපහාසයක් ලෙස නම් කරන ලදී.
මෙම වැඩසටහනට මහජන විරෝධයට මුහුණ දීමට සිදු විය. අර්ධ වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද පුරවැසියන් ද පිටුවහල් කරන ලද අතර සහ අරමුදල් ගැටළු ද ඇතිවිය. එය බොහෝ දුරට 1955 වන විට අවසන් විය.
කෙසේ වෙතත්, ආගමන විගමන විශේෂඥයින් පවසන්නේ මෙම මෙහෙයුම වත්මන් පිටුවහල් කිරීමේ ප්‍රයත්නයන්ට සමාන නොවන නිසා එයට නිසි ක්‍රියාවලියක් නොතිබූ අතර බොහෝ දුරට ඉලක්ක කර ඇත්තේ මෙක්සිකෝවේ තනිකඩ පිරිමින් මිස දුර රටවල පවුල් නොවන බවය.
අමාරු තීරණයක්
නෝරාට, නැවත නිකරගුවාවට යාම බිය උපදවන සිතිවිල්ලකි.
"මෙම වසර 24 තුළ මම ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩ කරමින් බදු ගෙවමින් සිටිනවා, මගේ තත්ත්වය වෙනස් කිරීමට මට වෙනත් මාර්ගයක් තිබුණේ නැහැ," නෝරා පැවසීය. "නැවත නිකරගුවාවට යාම ගැන සිතීම පවා අපහසුයි."
ප්‍රථම වරට ඇමෙරිකා එක්සත් ජනපද මැතිවරණයට ඡන්දය දුන් ඇගේ දියණියන් අවශ්‍ය නම් ඇය සමඟ පිටත්ව යන බව පවසා ඇත.
"මගේ අම්මා වෙනුවෙන් අපි ඕනෑම දෙයක් කරන්නම්," ලියා පැවසුවාය.