අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින තරගාවලිය : ඕස්ට්‍රේලියාවට ඉතිහාසය වෙනස් කරන්න හැකි වේවිද ?

මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා වත්මන් අවුරුදු 19න් පහළ ලෝක ශුරයින් වන ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලැබුවේ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 02 කින් පරාජයට පත් කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි 05 කදී අඛණ්ඩව අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලැබීමට සමත්වූ එකම කණ්ඩායම බවට ඉන්දියාව වාර්තා පොත් අතරට එක්විය.

අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන එක්දින තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා වත්මන් අවුරුදු 19න් පහළ ලෝක ශුරයින් වන ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලැබීය.

අවසන් මහ තරගය අනිද්දා (පෙබරවාරි මස 11 වෙනිදා) පැවැත්වීමට නියමිතයි.

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි 05 කදී අඛණ්ඩව අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලැබීමට සමත්වූ එකම කණ්ඩායම බවට ඉන්දියාව වාර්තා පොත් අතරට එක්විය.

පළමු අවසන් පූර්ව වටයේ තරගයේදී මොකද වුණේ ?

පළමු අවසන් පූර්ව වටයේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකාව සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 247ක් රැස් කිරීමට සමත් විය.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලුහාන් ඩ්‍රේ ප්‍රිටෝරියස් ලකුණු 76ක් සහ රිචඩ් සෙලෙට්ස්වේන් ලකුණු 64ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ රාජ් ලිම්බානි ලකුණු 60 කට කඩුලු 03ක් සහ මුෂිර් ඛාන් ලකුණු 43 කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 248ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ පන්දු වාර 12ක් අවසන් වන විට මුල් කඩුලු 04 ලකුණු 32කට දවා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වන ලදී.

වාර්තා අතරට එක් වූ සබඳතාවය

සිය කණ්ඩායම අසීරු අවස්ථාවක පසුවන වනවිට කඩුල්ලේ රැඳී සිටි ඉන්දීය කණ්ඩායමේ නායක ඌදෙයි ෂරන්, සචින් දාස් සමග එක්වී කඩා වැටුණු ඉන්දීය ඉනිම යළි ගොඩ නැගීමට දැඩි වෙහෙසක් දැරිය.

සෙමෙන් සෙමෙන් ඌදෙයි ෂරන් සහ සචින් දාස් එක්ව ඉන්දීය ඉනිමේ 05 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 171ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියකදී 05 වන කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවය ලෙස එය වාර්තා පොත් අතරට එක්විය.

සිය ශතකය පෙනෙන මානයේ සිටි සචින් දාස් ලකුණු 96 කට දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායමේ නායක ඌදෙයි ෂරන් ලකුණු 81 කට දුවද්දී දැවී ගියේය.

දැඩි උද්වේගකර තරගයකින් අනතුරුව ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් කඩුලු 02 කින් තරගය ජයග්‍රහණය කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගය සඳහා පිට පිට 05 වන වරටත් සුදුසුකම් ලැබීමට සමත් විය.

දෙවන අවසන් පුර්ව වටයේ තරගයේ දී සිදුවුයේ කුමක්ද?

ලබන ඉරිදා (පෙබරවාරි මස 11 වෙනිදා) පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා ඉන්දීය කණ්ඩායම සමග තරග වදින ප්‍රතිවාදී කණ්ඩායම කවුද යන්න තීරණය වන්නේ අද (පෙබරවාරි 08 වෙනිදා) ඕස්ට්‍රේලියාව සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන 02 වන අවසන් පූර්ව වටයේ තරගයෙන් ලැබෙන ප්‍රතිඵලය මතයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙවන අවසන් පූර්ව වටයේ තරගයේ දී පකිස්ථානය පරාජයට පත් කරමින් ඕස්ට්‍රේලියාව එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය.

දෙවන අවසන් පූර්ව වටයේ තරගයේ දී පකිස්ථානය පරාජයට පත් කරමින් ඕස්ට්‍රේලියාව එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය පන්දු වාර 48 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 178ක් පමණි.

ලකුණු 179ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් ගෙන ඒමට පකිස්ථාන පන්දු යවන්නන් සමත් විය.

කෙසේ වුවත් 10 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 17ක සබඳතාවයක් පවත්වමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ රෆ් මැක්මිලන් සහ කැලම් විඩ්ලර් 49 වෙනි පන්දු වාරයේ දී තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ පකිස්ථානයේ බලාපොරොත්තු බිඳ දමමිනි.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව තැබූ වාර්තා මොනවාද ?

මීට පෙර අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි 14ක් පවත්වා ඇති අතර ඉන්දිය කණ්ඩායම ඉන් තරගාවලි 08ක අවසන් මහ තරගයන්ට සුදුසුකම් ලැබීමට සමත්ව තිබේ.

ඉන් අවස්ථා 05 කදී ලෝක ශුරයින් ලෙස කිරුළු පැළඳීමට ඉන්දියාව සමත් විය.

මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලිය 15 වන වරට පවත්වනු ලබන අතර ඒ අනුව ඉන්දීය කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ 09 වන අවස්ථාව මෙය වේ.

ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව 2016 වසරේ සිට 2022 වසර දක්වා පැවති එක්දින ලෝක කුසලාන තරගමාලා 04ක අවසන් මහ තරග සඳහා ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලැබුව ද ඔවුන් එහිදී ශුරතාවයන් දිනා ගනු ලැබුවේ අවස්ථා දෙකකදී පමණයි.

ඉන්දීය කණ්ඩායම 2016 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සහ 2020 වසරේදී බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

කෙසේ වුවද ඉකුත් 2022 වසරේදී ඉන්දීය කණ්ඩායම එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් අවුරුදු 19න් පහළ ලෝක ශුරයින් බවට පත්විය.

ඕස්ට්‍රේලියාවට ඉතිහාසය වෙනස් කරන්න හැකි වේවිද ?

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ මීට පෙර අවස්ථා දෙකකදී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඒ 2012 සහ 2018 යන වසරවලදීයි.

කෙසේ වුවත් එම අවස්ථා දෙකේදීම ලෝක කුසලානය තමන් සතුකර ගැනීමට ඉන්දියාව සමත් වී ඇත.

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ඕස්ට්‍රේලියාවට මෙවර කුසලානය තමන් සතුකර ගැනීමට හැකි වේවිද ?

2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී කරට කර ගැටුණු ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව නැවත අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසාන තරගයට ද මුහුණ දීම සුවිශේෂී වන අතර, ඉතා උද්වේගකර උණුසුම් තරගයක් ප්‍රේක්ෂකයන්ට නැරඹීමට මෙවර ද හැකි වන ඇතැයි අපේක්ෂා කළ හැකියි.