ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් රාජධානියේ සාත්තු නිවාසවල අඳුරු පැතිකඩ ගැන හෙළිදරව්වක්
- Author, බීබීසී පැනෝරාමා
- Role, වාර්තා කණ්ඩායම
සාත්තු නිවාසයේ කාර්ය මණ්ඩලය බීබීසීය වෙත පැවසුවේ, රැකියාවක නිරත වීම සඳහා තමන් එක්සත් රාජධානියට ගෙන එන ලද ආයතනය තම ශ්‍රමය සූරාකන බවට ත් තමන් ඒ තුළ සිරවී සිටින බවට ත් තමන්ට හැඟෙන බව ය.
තමන් ආයතනය සමග එළඹ ඇති ගිවිසුම තමන්ව සේවය හැර යාමෙන් වළක්වන බවට තමන් විශ්වාස කරන බව 'Prestwick Care' නමැති එම සාත්තු නිවාසයේ සේවකයින් පිරිසක් බීබීසී විමර්ශනාත්මක වැඩසටහනක් වන 'Panorama' වැඩසටහනේ රහසිගත වාර්තාකරුවෙකුට පැවසූහ.
එමෙන් ම, සේවක හිඟයක් ඇති බවට බීබීසීය කළ විමර්ශනයේදී අනාවරණය වූ අතර එය සාත්තු නිවාසය තුළ රැකවරණය ලබන අවදානමට ලක් විය හැකි පිරිස අනතුරේ හෙළන බවට සෞඛ්‍ය වෘත්තිකයෝ පැවසූහ.
ක්‍රමානුකූලව සිදුවන මෙම වැරදිසහගත ක්‍රියා සහ වැරදි පිළිවෙත් අනුගමනය කරන බවට එල්ල වන චෝදනා 'Prestwick Care' ආයතනය ප්‍රතික්ෂේප කරයි.
Panoramaහි රහසිගත වාර්තාකරුවෙකු නිව්කාසල් ආශ්‍රිත රයිටන්හි පිහිටා ඇති 'Addison Court' නම් සාත්තු නිවාසයේ සාත්තු සේවකයෙකු ලෙස රැකියාවකට සම්බන්ධ විය. 'Addison Court' යනු, එංගලන්තයේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටා ඇති 'Prestwick Care' සතු සාත්තු නිවාස 15න් එකකි. ඔහු මෙම වසරේ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා එහි සේවය කළේ, සාත්තු නිවාසයේ තත්ත්වය පිළිබඳව ප්‍රදේශයේ සෞඛ්‍ය වෘත්තිකයන් නැගූ චෝදනාවලින් පසුව ය.
සතිපතා සාමාන්‍යයෙන් පවුම් 1,100ක පමණ ගාස්තුවක් අය කෙරෙන 'Addison Court' යනු, වැඩිහිටි පුද්ගලයින් 50කට වැඩි සංඛ්‍යාවකගේ නිවහන වේ. එම ගාස්තු ගෙවනු ලබන්නේ පළාත් පාලන බලධාරීන්, ජාතික සෞඛ්‍ය සේවය, එහි නෙවාසිකයින් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසිනි.
එක්සත් රාජධානියේ ඇති බොහෝ සාත්තු නිවාස මෙන්, 'Addison Court' ද විදේශයන්ගෙන් පැමිණෙන සේවකයින් මත දැඩි ලෙස යැපෙයි.
ඉකුත් වසරේ සිට 2023 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ගතවුණු වසරක කාලය තුළ එතෙර සෞඛ්‍ය සහ සාත්තු සේවකයන් සඳහා එක්සත් රාජධානියට පැමිණීමට වීසා බලපත්‍ර 140,000ක් නිකුත් කර තිබේ. එය පෙර වසරට වඩා දෙගුණයකටත් වඩා වැඩි ගණනකි. ඉන් 39,000ක් නිකුත් කර ඇත්තේ, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන්ට ය.
විදේශයන්හි සිටින හෙදියෝ සහ සාත්තු සේවකයෝ පුහුණු සේවක වීසා බලපත්‍රයක් (skilled worker visa) සඳහා සුදුසුකම් ලබති. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට එක්සත් රාජධානිය තුළ රැකියාවක නිරත විය හැකි නමුත් ඒ සඳහා ඔවුන්ට සේවා යෝජකයෙකු අනුග්‍රහය දැක්විය යුතු බව ය.
ඔවුන් තම රැකියාව හැර ගියහොත්, වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමට ඔවුන්ට දින 60ක් හිමිවන අතර එසේ නොමැතිනම් ඔවුන්ට ඔවුන්ගේ මව් රටට යාමට සිදු වේ.
මෙමගින් සේවා යෝජකයන්ට ලැබෙන බලය පිළිබඳව කනස්සල්ලක් මතුව තිබේ.
"ලොක්කෙක් විධියට ඔබ බලය පාවිචිචි කරන්න පුළුවන් තනතුරක නම් ඉන්නේ, ඔබට පුළුවන් කෙනෙකුව බලහත්කාරයෙන් පාලනය කරන්න ඒ බලය යොදවන්න," යැයි 'Unseen' නමැති ශ්‍රම සූරාකෑමට එරෙහි පුණ්‍යායතනයේ ඇන්ඩෲ වොලිස් පවසයි.
'Prestwick Care' සාත්තු නිවාසය වීසා මත එක්සත් රාජධානියේ සිටින විදේශීය සේවකයින් 180ක් පමණ සේවයේ යොදවයි. එය එහි කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් පමණ වේ.
එහි සිටි එක් ඉන්දියානු හෙදියක වාර්තාකරුට පැවසුවේ, ඇය තම රැකියාව ගැන නොසතුටින් සිටින නමුත් ඇයගේ වීසා බලපත්‍රය සඳහා සමාගම විසින් අනුග්‍රහය දක්වනු ලැබ ඇති නිසා ඇයට ඉන් ඉවත් විය නොහැකි බව හැඟුණු බව ත්, ඇයට වෙනත් විකල්පයක් නොමැති බව ත් ඇය විශ්වාස කළ බව ය.
"මට මෙතනින් යන්න බැහැ. මම ගෙදර හිටියා නම්, මට අඩු ම තරමේ ඉල්ලා අස්වෙන්න පුළුවන්. නමුත් මෙතන, මට නිකම් ම යන්න බැහැ," ඇය පැහැදිලි කළා ය.
ඉවත් වීමට තීරණය කර ඇති විදේශීය හෙද හෙදියන්ට Prestwick සමාගම පහසු ජීවිතයක් ගත කිරීමට ඉඩ ලබා දෙන්නේ නැත.
අහමඩ් (ඔහුගේ සැබෑ නම නොවේ), 2018 වසරේදී දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට එක්සත් රාජධානියට පැමිණියේ ය.
අනතුරුව ඔහුට ගිවිසුමකට අත්සන් තැබීමට පැවසිණි. ඔහු වසර පහක් ඇතුළත සමාගම හැර ගියහොත් ඔහුට 'Prestwick Care' වෙත පවුම් 4,000කට වඩා වැඩි මුදලක් එනම්, සමාගම විසින් ස්වදේශ කටයුතු කාර්යාලයට සහ ඔහුගේ වීසා බලපත්‍රය සඳහා ගෙවනු ලැබ තිබූ නීති ගාස්තු ගෙවීමට සිදුවනු ඇති බවට එහි සඳහන් විය.
සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DHSC) චර්යාධර්ම සංග්‍රහයට (Code of Conduct) අනුව, කාර්ය මණ්ඩලය මෙම වියදම් ගෙවීම කළ යුතු නොවේ.
අහමඩ් පවසන්නේ, "ඔබට කොන්ත්‍රාත්තුවට අනුව ඉන්න අවශ්‍ය නැතිනම් ඔබට නැවත ඉන්දියාවට යා හැකි යි," යනුවෙන් තමාට පැවසූ බව ය.
ඔහු පවසන්නේ, Prestwick Care ඔහු ඉවත්ව යාම වැළැක්වීමට උත්සහ කරන බව තමාට හැඟුණු නමුත් වෙනත් සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන සාත්තු නිවාසයක වඩා ත් ඉහළ තනතුරක රැකියාවක් හිමි වීමෙන් පසුව ඔහු ඉන් ඉල්ලා අස් වූ බව ය.
පසුව Prestwick Care සමාගම පවුම් 5,000කට වඩා වැඩි මුදලක් තමන් වෙත ගෙවීමට අහමඩ් බැඳී සිටින බව පවසමින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කළේ ය.
ඉන්පසු ඔහු Prestwick Care හිමිකරු වන මල්හෝත්‍රා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී බන්ටි මල්හෝත්‍රා ඇමතී ය. ඔහු අහමඩ්ට පැවසුවේ, "ඔබ කරපු දේ අශික්ෂිත යි, සදාචාර විරෝධී යි වගේ ම භයානක යි," යනුවෙනි.
අහමඩ්ට මාස හයක් යනතුරු කිසිදු තරගකාරී සාත්තු නිවාසයක රාජකාරී කිරීම වළක්වන ඔහුගේ ගිවිසුමේ ඇති වගන්තියක් ගැන ද පැවසිණි.
ලිආනා වුඩ් යනු නීතිඥවරියකි. මෙම වගන්තිය අධිකරණයක් හෝ විනිශ්චය සභාවක් මගින් අනුමත නොකරනු ඇති බව පවසන ඇය, එය හුදෙක් "[හෙදියන් සහ ජ්‍යෙෂ්ඨ සාත්තු සේවකයින්] නිදහස අහිමි කිරීමේ අරමුණක් ඉටු කිරීමට ඇති" බව පවසන්නී ය.
අහමඩ්ට එරෙහිව ගෙන තිබුණු නීතිමය ක්‍රියාමාර්ගය අවසානයේ ඔහුගේ නව සේවායෝජකයා විසින් විසඳනු ලැබිණි.
Unseenහි ඇන්ඩෲ වොලිස් පවසන්නේ, සේවකයින් මත ණය බර පැටවීම අශිෂ්ට ආයතන ප්‍රධානීන් විසින් පාලනය කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිත කරනු ලබන බව ය.
Prestwick Care සමාගම තම ගිවිසුම් සැලසුම් කර ඇත්තේ, තම සේවකයන් බිය ගැන්වීමට යන්න ප්‍රතික්ෂේප කරන අතර තමන් මේ වන විට සියලු කාර්ය මණ්ඩලවලට අදාළ ගිවිසුම්වල ආපසු ගෙවීම් ගැන සඳහන් වගන්ති සමාලෝචනය කරමින් සිටින බව පවසයි.
Addison Courtහි ඇතැම් සේවකයින් සඳහා, BGM Consulting නම් රැකියා සඳහා බඳවා ගැනීමේ නියෝජිතායතනයක් හරහා ඔවුන්ගේ වීසා බලපත්‍ර වෙනුවෙන් පවුම් 6,000ත් 10,000ත් අතර මුදලක් ගෙවා තිබීම හේතුවෙන් තත්ත්වය වඩා ත් නරක අතට හැරිණි.
ඔවුන් එක්සත් රාජධානියේ රජයේ වෙබ් අඩවිය හරහා ඍජුව ම අයැදුම් කළේ නම්, වසර තුනක වීසා බලපත්‍රයක් සඳහා වැය වන්නේ, පවුම් 551ක් පමණි.
රැකියා අපේක්ෂකයින්ගෙන් ගාස්තුවක් අය කරන බඳවා ගැනීමේ නියෝජිතායතන සමග සමාගම් කටයුතු නොකළ යුතු බව සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව (DHSC) පවසයි.
BGMහි අධ්‍යක්ෂ සුනිල් තෝමස් පවසන්නේ, සමාගම එක්සත් රාජධානියේ සාත්තු සේවකයින් බඳවා ගැනීම සඳහා කිසිදු මුදලක් ලබා ගෙන නොමැති බව ත්, එලෙස මුදල් ගෙවා ඇති නම් ඒ, ඉන්දියාවේ තමාගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන "උප-නියෝජිතයින්ට" වෙත විය හැකි බව ත් ය.
Prestwick Care පවසන්නේ, තම සමාගම දැන් BGM Consultancy සමග නව ව්‍යාපාරික කටයුතුවලට එළඹීම අත්හිටුවා ඇති බව ය.
Addison Courtහි ඇති සේවක හිඟය සත්කාර කිරීමේ ප්‍රමිතියට බලපාන ආකාරය පිළිබඳව ඇති කනස්සල්ල ගැන ද වාර්තාකරුට අසන්නට ලැබිණි.
සාත්තු නිවාසයක සේවය කළ යුතු සේවකයින් ගණන කොපමණ ද යන්න ගැන සඳහන් නීතියක් නොමැත. Prestwick Care සමාගම පවසන්නේ, රාත්‍රී සේවා මුරවලදී (20:00 සහ 08:00 අතර), එක් හෙදියකට නේවාසික පුද්ගලයින් 54 දෙනෙකුට ප්‍රමාණවත් රැකවරණයක් සැපයිය හැකි අතර, ඔවුන් රැකබලා ගන්නන් කණ්ඩායමක් විසින් ඔවුන්ට සහය දක්වනු ලබන අතර ඔවුන්ගෙන් සමහරෙකුට ඖෂධ ද ලබා දිය හැකි බව ය.
කෙසේ වෙතත්, රාත්‍රී සේවා මුරය ආවරණය කළ නියෝජිතායතනය හරහා සේවයට බැඳුණු හෙද නිලධාරියෙකු වාර්තාකරුට පැවසුවේ, මෙය කළමනාකරණය කිරීම දුෂ්කර බව ත්, ඇතැම් නේවාසික පිරිස් වෙත නියමිත වේලාවට ඖෂධ නොලැබෙන බව ත් ය.
ප්‍රමාද වී ඖෂධ ලබා දීම ඇතැම් රෝගී තත්ත්ව සඳහා බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි ය. උදාහරණයක් ලෙස දියවැඩියා රෝගීන් සඳහා ඉන්සියුලින් එන්නත් කිරීම හෝ පාකින්සන් රෝගය සඳහා ඖෂධ ලබා දීම පෙන්වා දිය හැකි ය.
නියෝජිතායතන හෙද නිලධාරියා පවසන්නේ, ඔහු වරක් බන්ටි මල්හෝත්‍රා සමග සේවක මට්ටම පිළිබඳව පැවසීමට උත්සහ කළ බව ය. එම අවස්ථාවේදී මල්හෝත්‍රා තමන්ට බැන වැදුණු බව ත් තම ප්‍රකාශය නොසලකා හැරි බව ත් ඔහු පවසයි. කෙසේ වෙතත්, ඔහුගේ මෙම ප්‍රකාශය මල්හෝත්‍රා ප්‍රතික්ෂේප කරයි.
Addison Courtහි අනෙකුත් සේවකයින් ද රහසිගත වාර්තාකරුට පැවසුවේ, සේවක හිඟය පිළිබඳ ගැටලුව මතු කළ නමුත් කළමනාකාරිත්වය ඒ ගැන උනන්දුවක් නොදැක්වූ බව ය.
සේවකයින්ගේ මෙම ගැටලු පිළිබඳව ප්‍රදේශයේ සෞඛ්‍ය වෘත්තිකයන් ද සිය හඬ අවධි කර තිබේ.
නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි රෝගීන් සමග කටයුතු කරන Addison Courtහි වෛද්‍යවරයෙකු Panorama වෙත පැවසුවේ, ඇතැම් රෝගීන්ට නියමිත වේලාවට ඖෂධ නොලැබීමේ ප්‍රවණතාවක් ඇය දුටු බව ය.
ලබා දෙන රැකවරණය සැමවිට ම ප්‍රමාණවත් නොවන බවට සේවකයින් හඳුනාගෙන ඇති නමුත්, ඔවුන්ගේ ගැටලු කළමනාකරණය වෙත යොමු කිරීමෙන් ඵලක් නොමැති බව ඔවුන්ට හැඟුණු බව ඇය පැවසුවා ය. මන්ද ඔවුන් "එක්කෝ එය ඔවුන්ගේ වරදක් බවට පත් කරනු ඇත, නැතහොත් ඒ ගැන නිහඬ පිළිවෙතක් අනුගමන කිරීමට උත්සහ කරනු ඇත."
Addison Courtහි කළමනාකාරිනිය පවසන්නේ, තමන් පැමිණිලි විමර්ශනය කිරීමට අපොහොසත් වන බව සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බව ත්, තමන් සාත්තු නිවසේ කාර්ය මණ්ඩලය සමග ධනාත්මක සබඳතාවක් පවත්වන බව ත් ය.
ජාතික සෞඛ්‍ය සේවයේ හෙදියක වන කේටි මෝගන් පසුගිය වසර දක්වා සතියකට වරක් මෙම සාත්තු නිවස වෙත ආ ගිය අයෙක් විය. ඇය පවසන පරිදි ඇය කතාබහ කළ හෙදියන් අසතුටින් සිටි නමුත් ඔවුන්ට ඉන් පිටව යා නොහැකියි යන හැඟීමෙන් පසු වූ බව ය.
සමාගම කලබල කිරීමට සහ රට හැර යාමට ඔවුන්ට අවශ්‍ය නොවන නිසා සේවකයින් තම ගැටලු මතු කිරීමට උත්සුක නොවන්නේ යැයි ඇය සිතුවා ය.
මෝගන් මහත්මිය පවසන්නේ, ඇතැම් නේවාසිකයින් ගැන ඇය කෙතරම් කනස්සල්ලට පත් වූවා ද කිවහොත් ඇය වසර දෙකක කාලයක් තුළ ප්‍රාදේශීය අධිකාරිය වන ගේට්ස්හෙඩ් කවුන්සිලයට (Gateshead Council) සුරක්ෂාව සම්බන්ධයෙන් නිල අනතුරු ඇඟවීම් 33ක් කළ බව ය.
එම අනතුරු ඇඟවීම්වලින් එකක් වූයේ, උග්‍ර මළබද්ධ තත්ත්වයකින් පැය 72ක කාලයක් ගත කිරීමට සිදුව මියගිය බවට ඇය පවසන නේවාසික පුද්ගලයෙකු ගැන ය. එම මරණය වළක්වා ගත හැකිව තිබුණු බව ඇයගේ විශ්වාසය යි.
"ඔවුන්ට [කාර්ය මණ්ඩලය] වෛද්‍යවරයාට කතා කරලා, බලන්න, තව ම මළ පහ වීමක් සිද්ධ වෙන්නේ නැහැ, කියලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න තිබුණා. ඒක නොසලකා හැරීමක්."
ගේට්ස්හෙඩ් කවුන්සිලය Panorama වෙත පැවසුවේ, අතිශය සංවේදී පෞද්ගලික තොරතුරු මුදා හැරීමට සිදු වන බැවින් අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ගැන සඳහන් කළ නොහැකි බව ය. ඔවුන් පවසන්නේ, සෑම අනතුරු ඇඟවීමකට ම ප්‍රතිචාර දැක්වූ අතර "නේවාසිකයන්ගේ යහපත වෙනුවෙන් ඒවා කළමනාකරණය කරන ලදී... එම අවස්ථාවේදී සපයන ලද සාක්ෂි මත පදනම්ව," යනුවෙනි.
ප්‍රකාශිත නවතම ගිණුම් වාර්තාවල දැක්වෙන්නේ, Prestwick Careහි මව් සමාගම වන Malhotra Care Homes Limited, 2021-22 මූල්‍ය වර්ෂය තුළ පවුම් මිලියන 9.3ක ලාභයක් උපයා ඇති බව ය. වරලත් ගණකාධිකාරී විවේක් කොටේචා පවසන්නේ, මෙම ලභා තීරුව - 40%ක් පමණ වන - සාත්තු නිවාසයක් සඳහා ඉතා ඉහළ අගයක් බව ය. මේ සඳහා පැහැදිලි කිරීමක් ලෙස ඔහු සිතන්නේ, සමාගම සිය තරගකරුවන්ට සාපේක්ෂව අඩුවෙන් කාර්ය මණ්ඩලය සඳහා මුදල් වැය කරන බව ය.
"ඒක කනස්සල්ලට කාරණාවක්. මොක ද මේ වගේ රෝගීන්ට කාර්ය මණ්ඩලයක් සහ රැකවරණය අවශ්‍ය යි... නැත්නම් ඔවුන් වැටීම් හෝ තුවාල වීමේ අවදානමකට මුහුණ දෙන්න පුළුවන්," යැයි ඔහු පවසයි.
2022 දෙසැම්බරයේදී, Prestwick Care සමාගමට විදේශ සේවකයින් සඳහා අනුග්‍රහය දැක්වීමට ඉඩ සලසන බලපත්‍රය ස්වදේශ කටයුතු කාර්යාලය විසින් අත්හිටුවන ලදී. එම පියවර ගැනීමට හේතු දැක්වීමක් සිදු නොවිණි.
එම ප්‍රවෘත්තිය සැලවීමෙන් පසු බන්ටි මල්හෝත්‍රා Addison Courtහි සේවය කරන ඉන්දියානු කාර්ය මණ්ඩලය රැස්වීමක් සඳහා කැඳවූ අතර එහිදී ඔහු ඔවුන්ව රැඳී සිටීමට පොළඹවා ගැනීමට උත්සහ ගත්තේ ය.
ඔවුන් අතින් සිදුවන ඕනෑ ම ආකාරයේ අතපසුවීමක් නොතකා සිටීමට තමන් සූදානම් බවට ඔහු ඉඟි පළ කළේ ය.
"ඔබ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සඳහා වැඩ කරන කෙනෙක් නම්, එක අතපසුවීමක් සිද්ධ වුණත් [ඔබ] ගැන හෙද සහ පවුල් සෞඛ්‍ය සේවිකා කවුන්සිලය (NMC) වෙත පැමිණිලි කරාවි," යැයි ඔහු පවසන අයුරු සටහන් වී තිබේ.
"අපි හැම වෙලේ ම අපේ සේවකයින් ආරක්ෂා කරනවා, අපි කියන්නේ, 'මේ වැරැද්ද පුහුණුවේ ප්‍රශ්නයක්'... මේ ආරක්ෂාව එළියේදී ලැබෙන්නේ නැහැ."
රැස්වීමේ දර්ශන දුටු කේටි මෝගන් පැවසුවේ, ඔහු සාත්තු නිවාසයේ රැඳී සිටීමට කාර්ය මණ්ඩලය බිය ගැන්වීමට උත්සහ කරන ආකාරය දැක තමා කම්පනයට පත් වූ බව ය.
ස්වදේශ කටයුතු කාර්යාලය දැන් Prestwick Care සමාගමේ විදේශ සේවකයින් සඳහා අනුග්‍රහය දැක්වීමට තිබුණු බලපත්‍රය "සම්පූර්ණයෙන්ම ම අවලංගු කර ඇත". බීබීසීය ඇතුළු ආයතන විසින් සුරක්ෂාව සම්බන්ධයෙන් පළ කරන ලද වාර්තාවලින් පසුව නියාමන ආයතනයක් වන Care Quality Commission (CQC), Addison Court වෙත ලබා දී තිබුණු "හොඳ" යන ශ්‍රේණිගත කිරීම ද ඉවත් කර තිබේ.
බීබීසීය වෙත ප්‍රකාශයක් කරමින් CQC කියා සිටියේ, තම ආයතනය "Addison Court ද සමග මෙම ප්‍රතිපාදකයා යටතේ ලියාපදිංචි කර ඇති අනෙකුත් ස්ථාන සමීපව අධීක්ෂණය කරන" බව ය. මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ පෙනන මානයේ ගැටලුවක් ඇත්නම්, "අපි මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා අපගේ නෛතික බලතල භාවිත කරන්නෙමු" යනුවෙන් එය වැඩිදුරටත් සඳහන් කළේ ය.
Prestwick Care පවසන්නේ, ක්‍රමානුකූලව වැරදිසහගත ක්‍රියා හෝ වැරදි පිළිවෙත් අනුගමනය කරන බවට එල්ල වන ඕනෑ ම චෝදනාවක් අසාධාරණ සහ සාවද්‍ය බව ය. කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම ඉතා වැදගත් වන බව ත්, "නැගෙන සියලු කනස්සල්ලන් ගැන තරයේ විමර්ශනය කිරීමට ත්, අවශ්‍ය පරිදි සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් පූර්ණ වශයෙන් කැපවී සිටින" බව ත් එම සමාගම පවසයි.