විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගය අවසන්: තීන්දුව දින නියමයක් නොමැතිව කල් තබයි

2017දී මරණ දඬුවම නියම වූ ස්විස් කුමාර් නමැත්තා සහ අනෙකුත් සැකකරුවන් පොලිස් නිලධාරීන් විසින් රැගෙන යනු ලබන ආකාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, විද්‍යා ඝාතනයට අදාළව ස්විස් කුමාර් ඇතුළු පිරිසකට 2017දී මරණ දඬුවම නියම කෙරිණි
    • Author, බීබීසී සිංහල

මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය 'දූෂණය කර මරා දැමීමේ' චෝදනා සම්බන්ධයෙන් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කර තිබෙන මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් 09 දෙනෙකු ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීය.

අභියාචනා පෙත්සම් විභාගය අද දිනයේ (නොවැ: 06) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්විණි.

විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු මොනවා ද?

මෙම සිද්ධියට අදාළව මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රධාන විත්තිකරු වන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විද්‍යා දැරිය පැහැර ගෙන යාම, දූෂණය කිරීම සහ මරා දැමීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සිය සේවාදායකයා වෙත පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා පදනම් විරහිත බව සඳහන් කළේ ය.

සිය සේවාදායකයා විද්‍යා දැරිය පැහැරගෙන යාමට සම්බන්ධ වූ බවට තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බවත් ඔහු සඳහන් කළේ ය.

මෙම නඩු විභාගයේදී විද්‍යා දැරියගේ මව සහ අසල් වාසියෙකු වන ඉලංකේෂ්වරන් යන අය දුන් සාක්ෂි එකිනෙකට පරස්පර බව නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

සිද්ධිය වූ දින විද්‍යා දැරිය පා පැදියෙන් පන්ති ගිය බව ඇයගේ මව නඩු විභාගයේදී සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණ ද, ඉලංකේෂ්වරන් නමැත්තා සාක්ෂි දෙමින් සඳහන් කළේ, ඇය බස් රථයෙන් පන්ති යනු තමා දුටු බව යැයි නීතිඥවරයා පැවසුවේ ය.

ඒ අනුව, එම සාක්ෂිකරුවන් ලබා දූන් සාක්ෂිවල පරස්පරභාවය මනාව පැහැදිලි වන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම බරපතළ ලිංගික හිංසන සිද්ධිය වීඩියෝගත කළ බවට ප්‍රකාශ කළත් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් ඔහු කියා සිටියේ ය.

තීන්දුව දීම දින නියමයක් නොමැතිව කල් යයි

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම අවස්ථාවේදී නැගී සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි ප්‍රකාශ කළේ, විද්‍යා දැරිය දූෂණය කිරීමේ මූලික අරමුණ එම සිද්ධිය වීඩියෝගත කර ස්විස් මාෆියා කණ්ඩායමකට විකිණීම බව ය.

එහිදී විනිසුරු අචල වෙංගප්පුලි විත්තියේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "ඔබේ සේවාදායකයා රුපියල් මිලියන 20ක් ලබා දී මෙම චෝදනාවලින් ගැලවී යාමට උත්සහ කර ඇති බවට තොරතුරු වාර්තා වුණා නොවේ දැයි," විමසුවේ ය.

එම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරු වී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද සිරගත වී සිටින බව ය.

ඉන් අනතුරුව සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සිය සේවාදායකයින්ට එරෙහි චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස ය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන් මෙම කෲර සමූහ දූෂණය සිදු කළේ මුදල් ලබා ගැනීමේ අරමුණින් බව කියා සිටියේ ය.

මෙම සමූහ දූෂණ සිද්ධිය වීඩියෝගත කර අතිවිශාල මුදලකට ස්විට්සර්ලන්තයේ මාෆියා කණ්ඩායමකට අලෙවි කිරීම විත්තිකරුවන්ගේ අරමුණ වී තිබූ බවත්, ඊට ස්විස් කුමාර් නමැති විත්තිකරු නායකත්වය ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

එම නිසා, මෙම විත්තිකරුවන්ට එරෙහි චෝදනා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවත්, ඔවුන්ට නියම කර තිබෙන දඬුවම් නීත්‍යනුකූල බවත් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විත්තිකරුවන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කළේ ය.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තබන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

2015 වසරේ මැයි මස 13 වන දා පාසල් ගොස් පැමිණෙමින් සිටි සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.