විද්‍යා ඝාතනය: ශ්‍රී ලංකා පොලිසියේ සිටි ඉහළ නිලධාරියෙකුට සිරදඬුවම් නියම කළේ ඇයි?

2015 වසරේ මැයි මස 13 වන දා ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වූ ස්විස් කුමාර් නමැත්තාට මුල් අවස්ථාවේ 'පැන යාමට ආධාර අනුබල දුන්' එවක උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.එම්. මිහාල් බ්‍රහස්පතින්දා (පෙබ: 20) නියෝග කළේ ය.
විද්‍යා දැරියගේ සිදුවීමට සම්බන්ධ වූ සැකකරුවෙකු වන ස්විස් කුමාර් නමැත්තා වෙත මුල් අවස්ථාවේ පැන යාමට ආධාර අනුබල දීමේ චෝදනා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත එල්ල වී තිබූ අතර සැකකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බැවින් මෙම දඬුවම නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර තිබේ.
චෝදනාවලට වරදකරු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වෙත සිර දඬුවමට අමතරව රුපියල් 50000ක දඩ මුදලක් ගෙවන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර, දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් මාස 6ක සිර දඬුවමක් දෙන ලෙස ද නියෝග කර තිබේ.
මීට අමතරව, විද්‍යා දැරියගේ සිද්ධියට අදාළව සැකකරුවන්ට පැන යාමට ආධාර අනුබල දීමේ චෝදනා ලැබ සිටින, දැනට විදෙස්ගතව සිටින බවට සැක කරන එවකට කයිට්ස් පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ශ්‍රී ගජන් නමැති උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.
විද්‍යා ඝාතකයන්ට මරණ දඬුවම
2015 මැයි මස 15 වන දා යාපනය, කයිට්ස්, පුංකුඩිතිව් ප්‍රදේශයේදී පුද්ගලයින් 7 දෙනෙකු විසින් 17 හැවිරිදි පාසල් දැරියක වූ ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කර තිබූ අතර එය රට තුළ කැළඹීමක් ඇති කළ සිදුවීමක් විය.
එම සිදුවීමට අදාළව සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර, ඉන් චෝදනාවලට වරදකරුවන් වූ ස්විස් කුමාර් ඇතුළු චූදිතයන් 7 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමට යාපනය මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2017 වසරේදී තීන්දු කළේ ය.
එවක වවුනියාව මහාධිකරණයේ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් සභාපතිත්වයෙන් යුතු විනිසුරු මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් කටයුතු කළහ.
මෙම සිදුවීමට වරදකරුවන් වූ 2 වන විත්තිකරු පූබාලසිංහම් ජෙයකුමාර්, 3 වන විත්තිකරු පූබාලසිංහම් තවකුමාර්, 4 වන විත්තිකරු මහාලිංගම් ශෂිධරන්, 5 වන විත්තිකරු තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, 6 වන විත්තිකරු ශිවදේවන් දුෂාන්තන් නොහොත් පෙරියම්බි, 8 වන විත්තිකරු ජෙයධරන් කෝකිලන්, 9 වන විත්තිකරු මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් යන පුද්ගලයින්ට මෙහිදී මරණීය දණ්ඩනය හිමි විය.
මරණ දඬුවමට අමතරව වසර 30 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද, එක් අයෙකු රුපියල් මිලියනය බැගින් මිලියන 7ක මුදලක් විද්‍යා දැරියගේ පවුලට ගෙවීමට ද, නඩු ගාස්තු වශයෙන් එක් අයෙකු රුපියල් 40,000ක මුදලක් ගෙවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබිණි.
අධිකරණ භූමියේ ඇති වූ නොසන්සුන්තාව
දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් මුල් වරට යාපනයේ කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ 2015 මැයි 19 වන දා අධිකරණ භූමියේ සිටි ජනතාව සැකකරුවන්ට පහර දීමට තැත් කිරීම නිසා අධිකරණ භූමිය තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
එම අවස්ථාවේදී යාපනයේ වැසියන් විශාල පිරිසක් පමණ යාපනය අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් අධිකරණ ශාලාවට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා ගොඩනැගිලි කිහිපයකට සහ වාහන කිහිපයකට අලාභ හානි සිදුවූ අතර එම ප්‍රහාරයන්ට මැදිවූ පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් ද තුවාල ලැබූහ.
එහිදී යාපනය අධිකරණය ඉදිරිපිට පොදු දේපළවලට හානි සිදුකරමින් පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකරමින් කළහකාරී ලෙස හැසිරුණු 127 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ප්‍රදේශවාසීන් මෙම සැකකරුවන් අට දෙනාගෙන් තුන් දෙනෙකුගේ නිවාසවලට ද අලාභහානි සිදු කර තිබූ අතර එක් සැකකරුවෙකුගේ නිවසක් ගිනි තබා තිබුණු බව ද වාර්තා විය.














