ළමා මනාලියක් දික්කසාද වීමේ අයිතිය දිනා ගැනීම: 'දැන් එය තමන් ගණන් නොගන්නා බව' තාලිබාන්වරු පවසති

    • Author, මමූන් ඩුරානි සහ කවූන් කමූෂ්
    • Role, බීබීසී ඇෆ්ගන් සේවය සහ බීබීසී ලෝක සේවය

ලියකියවිලි රාශියක් පපුවට තදකරගෙන කාර්යයබහුල මාර්ග දෙකක් අතර ගසක් යට ආවරණය ලබමින් සිටින තරුණ කාන්තාවකි.

මේ කොල කැබලි සියල්ල ලෝකයේ ඇති සියලුම දේට වඩා බිබී නස්දානාට වටියි: ඒවා ළමා මනාලියක් ලෙස ගෙවූ ජීවිතයෙන් ඇය නිදහස් වීමට වසර දෙකක අධිකරණ සටනකින් පසුව ඇයට ලැබුණු දික්කසාදය යි.

ඒවා තාලිබාන් අධිකරණයක් විසින් අවලංගු කර තිබෙන ලියවිලි වන අතර, ඇය ඇෆ්ඝනිස්ථාන නීති පද්ධතිය තුළ ප්‍රභල ලෙස කාන්තාවන් නිහඬ කර ඇති [තාලිබාන්] කණ්ඩායමේ දැඩි ෂරියා (ආගමික නීතිය) අර්ථ දැක්වීම්වල වින්දිතයෙකි.

නස්දානාගේ දික්කසාදය වසර තුනකට පෙර රටේ පාලනය තාලිබාන්වරු අත්පත් කරගත් දා පටන් ආපසු හැරවූ අධිකරණ තීන්දු දස දහස් ගණනකින් එකකි.

ඔවුන් කාබුල් අගනුවරට ඇතුළුවීමේ සිට, ඇ‍ය මහත් ආයාසයෙන් සටන් කළ දික්කසාද තීන්දුව ආපසු හැරවීමට ඇයට වසස අවුරුදු හතේ දී ගිවිසුම්ගත කළ මිනිසා විසින් අධිකරණයෙන් විමසීම දක්වා ගත වූයේ දින දහයකි.

හෙක්මතුල්ලා මුලින් ම පෙනී සිටියේ නස්දානාට වයස අවුරුදු 15 දී ඔහුගේ බිරිඳ ඉල්ලීමටයි. එය සිදු වූයේ පවුලේ "සතුරෙකු මිතුරෙකු" බවට හැරවීමට උත්සහ කරන, "නරක විවාහය" ලෙස හඳුන්වන [විවාහයට] ඇගේ පියා විසින් එකඟ ව තිබී වසර අටකට පසුවයි.

දැන් වයස විසි ගණන්වල සිටින ගොවියෙකු වන ඔහුව ඇයට විවාහ කරගැනීමට නොහැකි බව නැවත නැවත පවසමින්, වෙන්වීමක් සඳහා ඇය එවකට එක්සත් ජනපද සහය ලැබූ ඇෆ්ඝන් රජය යටතේ ක්‍රියාත්මක වූ අධිකරණයට වහාම පිවිසුණා ය. වසර දෙකක් ගත වූවත් අවසානයේ ඇයට පක්ෂපාතී තීන්දුවක් ලැබුණි: "අධිකරණය මට සුබ පතලා කිව්වා 'දැන් ඔයාව වෙන් කරලා තියෙන්නෙ, ඔයා කැමති ඕනෑම කෙනෙක් ව ඔයාට කසාද බඳින්න පුළුවන්,' කියලා."

නමුත් හෙක්මතුල්ලා තීන්දුවට අභියායචනය කළ පසු, ඇගේ ම නඩුවට ඇයට ආයාචනා කිරීමට අවසර හිමි නොවනු ඇතැයි නස්දානාට දැනගන්නට ලැබුණි.

"අධිකරණයේ දී තාලිබාන්ලා මට කිව්වා ආපහු අධිකරණයට එන්න එපා, මොකද ඒක ෂරියා විරෝධීයි කියලා. ඔවුන් කිව්වා මගේ සහෝදරයාට ඒ වෙනුවට මාව නියෝජනය කරන්න කියලා," නස්දානා පවසයි.

"ඔවුන් කිව්වා අපි එකඟ වුණේ නැති නම් ඔවුන් බලහත්කාරයෙන් මගේ සහෝදරියව ඔහුට (හෙක්මතුල්ලා) භාර දෙනවා කියලා," නස්දානාගේ වයස අවුරුදු 28ක සහෝදරා වන ශාම්ස් පවසයි.

දැන් තාලිබාන් නව සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි ව ඇති ඇගේ හිටපු ස්වාමිපුරුෂයා නඩුව ජය ගත්තේ ය. ඔවුන්ට ආසන්න පළාත වන උරුස්ගන්හි අධිකරණයේ දී ඇගේ ජීවිතය අනතුරුදායක වේ යැයි පැහැදිලි කිරීමට දැරූ ශමාස්ගේ උත්සහය නොසලකා හැරුණි.

පැන යාම හැර වෙනත් තෝරාගැනීමක් ඔවුන්ට නොමැති බවට සහෝදර සහෝදරියෝ තීරණය කළ හ.

වසර තුනකට පෙර තාලිබාන් සංවිධානය නැවත බලයට පැමිණි විට අතීතයේ සිදු වූ දූෂණයන් ඉවතට හෙළීමට සහ ඉස්ලාම් නීති ක්‍රමයක් වන ෂරියා යටතේ "යුක්තිය" ලබා දීමට පොරොන්දු විය.

තාලිබාන්වරුන් පවසන්නේ එතැන් පටන් ඔවුන් 355,000 පමණ නඩු පිළිබඳ බලා ඇති බවයි.

බහුතරයක් අපරාධ නඩු වූ අතර, ඇස්තමේන්තුගත 40%ක් ඉඩම් ආරවුල් ද, තවත් 30%ක් නස්දානාගේ මෙන් දික්කසාදය ඇතුළු පවුල් ප්‍රශ්නයි.

නස්දානාගේ දික්කසාද තීන්දුව හාරා එළියට ගත්තේ, බීබීසීයට කාබුල් අගනුවර ශ්‍රේෂ්ඨාධිකරණයේ පසුපස කාර්යාලවලට විශේෂිත ප්‍රවේශයක් හිමි වීමෙන් පසුවයි.

ඇෆ්ඝනිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයේ මාධ්‍ය නිලධාරියා වන අබ්දුල්වහීද් හකානි හෙක්මතුල්ලාට පක්ෂව ලැබුණු තීන්දුව තහවුරු කරන්නේ, ඔහු "පැමිණ නොසිටි" නිසා එය වලංගු නොවන බව පවසමින් ය.

"හෙක්මතුල්ලාගේ සහ නස්දානාගේ විවාහය අවලංගු කළ පෙර සිටි දූෂිත පරිපාලනයේ තීරණය ෂරියා සහ විවාහ නීතිවලට පටහැණියි," ඔහු පැහැදිලි කරයි.

නමුත් යුක්තිය ඉටු කීරීමේ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ පොරොන්දු සරලවම අවසන් කළ නඩු නැවත විවෘත කිරීමෙන් බොහෝ දුර ගොස් තිබේ.

තාලිබාන් විසින් ක්‍රමානුකූලව පිරිමි සහ ගැහැනු දෙපාර්ශවයේ ම සියලු විනිසුරුවරුන් ඉවත් කර තිබෙන අතර, ඔවුන්ගේ දැඩි මතයන්ට සහය දක්වන පුද්ගලයන්ව ඔවුන් වෙනුවට ආදේශ කර ඇත.

කාන්තාවන් අධිකරණ පද්ධතියට සහභාගී වීම නුසුදුසු බව ද ප්‍රකාශ කර තිබේ.

"අපේ ෂරියා මූලධර්ම තුළ අධිකරණ කටයුතු කරන්න උසස් බුද්ධියක් තියෙන මිනිසුන් අවශ්‍ය නිසා කාන්තාවන්ට සුදුසුකම් ලබන්න හෝ විනිශ්චය කිරීමේ හැකියාව නෑ," යැයි තාලිබාන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විදේශ සබඳතා සහ සහ සන්නිවේදන අධ්‍යක්ෂක අබ්දුල්රහීම් රෂීඩ් පවසයි.

පද්ධතිය තුළ වැඩකළ කාන්තාවන්ගේ පාඩුව දැඩි ලෙස දැනෙන්නේ ඔවුන්ට [එම කාන්තාවන්ට] පමණක් නොවේ.

අධිකරණ තුළ කාන්තාවන් නොමැති නම් නීතිය යටතේ කාන්තා ආරක්ෂණය වැඩිදියුණු වෙතැයි ඇත්තේ සුළු බලාපොරොත්තුවක් බව, තාලිබාන් නැවතන් පැමිණීමෙන් පසු රටින් පළා ගිය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන ෆවුසියා අමීනි පවසයි.

"අපි වැදගත් කාර්යයභාරයක් සිදු කළා," ඇය පවසයි. "උදාහරණයක් විදිහට, 2009 දී කාන්තාවන්ට එරෙහි හිංසන නීතිය ඉවත් කිරීම අපි ලබපු ජයග්‍රහණයක්. තවත් කිහිපයක් නම් කළොත්, කාන්තාවන් සඳහා ආරක්ෂණ මධ්‍යස්ථාන, අනාථ ආරක්ෂණයන් සහ මිනිස් ජාවාරම් විරෝධී නීතිය වැනි රෙගුලාසි ගැනත් අපි වැඩ කළා."

තාලිබාන් විසින් නස්දානාගේ වැනි පෙර තීන්දු නැවත හැරවීම ද ඇය විවේචනය කළා ය.

"කාන්තාවක් ඇගේ සැමියාගෙන් දික්කසාද වුණා නම් සහ සාක්ෂි විදිහට අධිකරණ ලියවිලි තියෙනවා නම් ඒක එතැනින් අවසන්. නීතිමය තීන්දුව පාලනය වෙනස් වුණා කියලා වෙනස් වෙන්න බෑ," අමීනි මෙනවිය පවසයි.

"අපේ සිවිල් නීති සංග්‍රහය සියවස් බාගයකට වඩා පරණයි," ඇය එකතු කළා ය. "ඒක ක්‍රියාත්මක වෙන්නේ තාලිබාන් ආරම්භ වෙන්නටත් පෙර සිටයි."

"දික්කසාද සඳහා වන ඒවාත් ඇතුළුව සියලු සිවිල් සහ දණ්ඩ නීති සංග්‍රහ කුරාණයට අනුව යොදාගෙන තියෙන්නේ."

නමුත් තාලිබාන් [සංවිධානය] පවසන්නේ හිටපු පාලකයන් ප්‍රමාණවත් තරම් ඉස්ලාම් නොවූ බවයි.

ඒ වෙනුවට ඔවුන් 8 වන සියවස තෙක් පිටුපසට ගිය ද , අබ්දුල්රහීම් රශීඩ්ට අනුව "වත්මන් අවශ්‍යතාවලට යෝග්‍ය" හනාෆි ෆික් (නීති විද්‍යාව ) ආගමික නීතිය පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබේ.

"පැරණි අධිකරණ තීන්දු දුන්නේ දණ්ඩ නීති හා සිවිල් නීති සංග්‍රහයකට අනුව. නමුත් දැන් සියලු තීරණ ගන්නේ ෂරියා [ඉස්ලාම් නීතිය] පදනම් වෙලා," යැයි ඔවුන් මේ වන විටත් අවසන් කර ඇති නඩු මිටි දෙස බලමින් ආඩම්බරයෙන් ඉඟි කරමින් ඔහු එකතු කරයි.

ඇෆ්ඝනිස්ථානයේ නීති පද්ධතිය ඉදිරියට යාමේ සැලසුම් පිළිබඳ අමීනිට ඇත්තේ අඩු පැහැදීමකි.

"මට තාලිබාන්ලාගෙන් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඔවුන්ගේ දෙමවුපියන් විවාහ වුණේ මේ නීති පදනම් කරගෙන ද, නැතිනම් ඔවුන්ගේ පුතාලා ලියන්න යන නීති මත පදනම්ව ද?" ඇය විමසයි.

නමක් නොමැති අසල්වැසි රටක පාරවල් දෙකක් මැද ඇති ගසක් යට සිටින නස්දානාට මේ කිසිවකින් සැනසීමක් නොලැබෙයි.

දැන් වයස 20ක් වන ඇය ඇගේ දික්කසාද ලියවිලි තදින් අල්ලාගෙන කිසිවෙකු හෝ ඇයට උදවු කරාවි යැයි බලාපොරොත්තුවෙන් වසරක් තිස්සේ මෙහි සිට තිබේ.

"එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව මම උදවු ඉල්ලලා ගොඩක් දොරවල්වලට තට්ටු කරලා තියෙනවා වුණත් කාටවත් මගේ හඬ ඇහෙන්නේ නෑ," ඇය පවසයි.

"කොහෙද සහය තියෙන්නේ? මට කාන්තාවක් විදිහට නිදහස ලැබිය යුතු නැද්ද?"

අදහස් දැක්වීම සඳහා හෙක්මතුල්ලා සම්බන්ධ කරගැනීමට බීබීසීයට නොහැකි විය.