ෂෙයිකා මෙහ්රා: තම 'දික්කසාදය' සුවඳ විලවුන් සන්නාමයක් බවට පත් කළ ඩුබායි කුමරිය

INSTAGRAM/HHSHMAHRA

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/HHSHMAHRA

'දික්කසාදයට' ආවේණික සුවඳක් ඇතැයි ඔබ කිසි දිනක සිතුවා ද? 'දික්කසාදයේ' සුවඳ කුමක් ද?

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ප්‍රශ්න මතු කරමින්, කාන්තා සමාජ මාධ්‍ය භාවිත කරන්නියක මෙසේ ලියා තිබිණි, 'මේක ව්‍යාජ සුවඳක් ද?'

එම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් තවත් කාන්තාවක ලියා තිබුණේ, 'නෑ, නෑ, ඒක නිදහසේ සුවඳට සමාන යි' යනුවෙනි.

මේ කුමන ආකාරයේ සංවාදයක් ද යනුවෙන් ඔබ සිතනවා ඇත.

ඩුබායිහි ෂෙයික් රෂීඩ් අල් මක්ටූම්ගේ දියණිය වන ෂෙයිකා මෙහ්රා, මීට මාස දෙකකට පෙර ඉන්ස්ටග්‍රෑම් සටහනක් හරහා තම සැමියාගෙන් දික්කසාද වූ ෂෙයිකා මෙහ්රා දැන් තමන්ගේ ම සුවඳ විලවුන් වර්ගයක් හඳුන්වා දී ඇති අතර, එය "Divorce" ලෙස නම් කර ඇත.

ඇයගේ ව්‍යාපාරික සන්නාමය වන 'Mehra M One' යටතේ දියත් කරන ලද මෙම සුවඳ විලවුන් වර්ගය හරහා ඇයගේ මෑතකදී සිදුවූ දික්කසාදය පිළිබඳ අදහසක් ඇතුළත් වන බව විශ්වාස කෙරේ.

INSTAGRAM/HHSHMAHRA

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/HHSHMAHRA

මෙහ්රා කුමරිය සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ අවධානයට ලක්වූයේ, 2024 ජූලි මාසයේදී ඇයගේ සත්‍යාපනය කරන ලද (verified) ඉන්ස්ටග්‍රෑම් ගිණුම කෙටි වචන කිහිපයකින් ඇගේ සම්බන්ධතාව අවසන් වූ බව සඳහන් කළ විට ය: 'මම දික්කසාද වූ බව දැනුම් දෙමි.'

ෂෙයික් මක්ටූම් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා වන අතර ලෝක අශ්වාරෝහකයින් සහ තුරඟ තරගකරුවන් අතර දැවැන්ත චරිතයකි. ඔහුට බිරින්දෑවරුන් කිහිප දෙනෙකුගෙන් මෙහ්රා කුමරිය ඇතුළු දරුවන් 23 දෙනෙකු සිටින බව පැවසේ.

'මේ යුගයේ කාන්තාවන් අලුත් ව්‍යාපාර අරඹනවා මිසක් අඬන්නෙ නෑ'

'දික්කසාදය' නමින් සුවඳ විලවුන් වර්ගයක් එළිදැක්වීමේ පුවතට සමාජ මාධ්‍ය තුළ බොහෝ කාන්තාවන් සිය ප්‍රතිචාරය පළ කර තිබේ.

ඉන්ටග්‍රෑම් භාවිත කරන්නෙකු ලියා තිබුණේ, 'පළිගැනීම යන වචනය වඩාත් සුදුසු නමක් වෙන්න තිබුණා, ඒත්, 'Divorce' කියන නමට මම වැඩියෙන් කැමති වුණා,' යනුවෙනි.

තවත් කාන්තාවක් මෙහ්රාගේ සටහන යටතේ ලියා ඇත්තේ, "මේ 2024 වන අතර මේ යුගයේ කාන්තාවන් ව්‍යාපාර ආරම්භ කර ලාභ උපයනවා මිසක් අඬන්නේ නැහැ," යනුවෙනි.

ලන්ඩනයේ කාන්තාවක වන කියා මෙසේ ලිවී ය, "මෙම සුවඳ විලවුන් දියත් කිරීම පිටුපස වේදනාවක් සහ යමෙකු අහිමි වීමේ වේදනාව ඇති බව මම දනිමි, නමුත් ව්‍යාපාරික දෘෂ්ටි කෝණයකින් ඔබ ඉතා බුද්ධිමත් දෙයක් කර ඇත."

INSTAGRAM/HHSHMAHRA

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/HHSHMAHRA

ඩුබායි සිට ෂමීටා අල්-නක්බි නම් කාන්තාවක්, "හොඳ ම වේලාවේ හොඳ ම සුවඳ" යනුවෙන් ලියා තිබිණි. "කුමරිය, ඔබේ ධෛර්යය ගැන ගොඩක් සතුටු යි."

කෙසේ වෙතත්, සමහර කාන්තාවන් මෙහ්රා කුමරිය සමග එකඟ නොවන අතර එවැනි පරිශීලකයෙකු ලියා ඇත්තේ, "මම පැරීසියෙන්, සුවඳ විලවුන් සහ නවීනත්වයේ නගරය සහ දික්කසාද සුවඳ විලවුන් අතර කිසිදු සම්බන්ධයක් නැහැ," යනුවෙනි.

ඇය තවදුරටත් ලියා ඇත්තේ, 'දික්කසාද වීම ගැටලුවක් වන අතර, ඔබ යමෙකු දික්කසාද වනු දැකීමට කැමති වන්නේ ඇයි? ඒ වගේ ම ඔබේ හදවත බිඳුණු, ඔබට සහ ඔබේ පවුලට රිදවන දෙයක් ඔබ ප්‍රවර්ධනය කරන්නේ ඇයි?' යනුවෙනි.

INSTAGRAM/HHSHMAHRA

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/HHSHMAHRA

මෙහ්රා කුමරියගේ ඉන්ස්ටග්‍රෑම් සටහනේ ලියා ඇති පාඨය ආරම්භ කර ඇත්තේ, 'ආදරණීය ස්වාමි පුරුෂයා, මම ඔබව දික්කසාද කරමි, මම ඔබෙන් දික්කසාද වෙමි, සහ මම ඔබෙන් දික්කසාද වෙමි,' යන වචනවලිනි.

මෙම සටහනෙහි, ඉස්ලාමීය සම්ප්‍රදාය අනුව, තලාක් (දික්කසාදය) යන වචනය තුන් වරක් සඳහන් වී ඇතැයි දැකිය හැකි ය.

INSTAGRAM/HHSHMAHRA

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/HHSHMAHRA

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

'ත්‍රිත්ව තලාක්' ප්‍රවණතාව ලෝකයේ බොහෝ රටවල් නිල වශයෙන් තහනම් කර ඇති නමුත්, සාමාන්‍යයෙන් සැමියාට තම බිරිඳගෙන් තුන් වතාවක් දික්කසාද වන ලෙස පවසා සම්බන්ධතාව අවසන් කළ හැකි ය.

කුමරියගේ ඉන්ටග්‍රෑම් සටහන අවසන් කර ඇත්තේ, 'පරිස්සමින් ඉන්න - මීට ඔබේ හිටපු බිරිඳ' යනුවෙනි.

කුමරියගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් ඇගේ සැමියාගේ සියලු ම ඡායාරූප ඉවත් කර තිබේ. අනෙක් අතට, ඇගේ සැමියාගේ ගිණුමෙහි කුමරියගේ ඡායාරූප නොතිබූ අතර ඒවා පැහැදිලිව ම ඉවත් කර ඇත.

මෙම කාරණය පැහැදිලි කර ගැනීම සඳහා බීබීසී පුවත් සේවය, 2024 ජූලි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සම්බන්ධ කර ගත් නමුත් මේ දක්වා කුමරියගේ සැමියා වන ෂෙයික් මුනා බින් මොහොමඩ් බින් රෂීඩ් බින් මුනා අල් මක්ටූම් හෝ කුමරියගේ පියා සහ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වා නැත.

මෙහ්රා කුමරියගේ විවාහ මංගල්‍යය 2023 අප්‍රේල් මාසයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අතර ඔවුන්ගේ පළමු දරුවා දික්කසාද වීමට මාස දෙකකට පෙර උපත ලැබී ය.

ෂෙයිකා මෙහ්රා බින් මුහම්මද් බින් රෂීඩ් අල් මක්ටූම් 30 හැවිරිදි වියේ වන අතර, 1994 පෙබරවාරි මාසයේදී උපත ලැබී ය. ඇය හැදී වැඩුණේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වන අතර ඇගේ මව ග්‍රීක පුරවැසිභාවය දරයි. අල් ජසීරා වාර්තා කළේ, මෙහ්රා කුමරියට අරාබි සහ ග්‍රීක යන භාෂා දෙක ම කතා කළ හැකි බව ය.

ෂෙයිකා මෙහ්රා එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයකින් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

ෂෙයිකා මෙහ්රා කාන්තා ස්වාධීනත්වය සඳහා හඬ නගන අතර බොහෝවිට ඇයගේ Instagram හි Emirati සන්නාම ප්‍රවර්ධනය කරන අතර, වැදගත් උත්සව අවස්ථාවලදී දේශීය නිර්මාණකරුවන් විසින් සාදනු ලබන ඇඳුම් අඳියි.

ෂෙයිකා මෙහ්රාගේ ගිණුමේ දැක්වෙන්නේ, ඇය සතුන්ට, විශේෂයෙන් ම අශ්වයන්ට වැඩි කැමැත්තක් දක්වන බව ය.