ඩුබායි 'The World' මෙගා ව්‍යාපෘතියට සිදුවී ඇත්තේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය දශක දෙකක පමණ කාලය තුළ, ඩුබායි රාජ්‍යය ලෝකයේ උස ම කුලුන වන බර්ජ් ඛලීෆා, ලෝකයේ ආකර්ෂණීය ම හෝටලය වන බර්ජ් අල් ඇරැබ් සහ වෙරළ තීරයේ ඉදිකරන ලද දැවැන්ත "Palm islands" ආදී මෙගා ව්‍යාපෘති හේතුවෙන් ලෝකය මවිතයට පත් කර තිබිණි.
කෙසේ වෙතත්, ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතියක් වූ, ලෝක මහාද්වීපවල හැඩයෙන් ඉදිකරන ලද කෘත්‍රිම දූපත් 260කින් යුත් දූපත් සමූහයේ වැඩ ආරම්භ කර වසර විස්සකට වැඩි කාලයක් ගතවී ඇතත් දූපත් වැඩි සංඛ්‍යාවක් තවමත් හිස්ව පවතී.
එසේ නම්, 'The World' දූපත් සමූහයට සිදුව ඇත්තේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අප්‍රිකා, ඇන්ටාර්ක්ටිකා, ආසියා, යුරෝපා, උතුරු ඇමෙරිකා, ඕෂනියා සහ දකුණු ඇමෙරිකා යන මහාද්වීපවල හැඩයන් අනුව සකස් කරන ලද කෘත්‍රිම දූපත් 260කින් සමන්විත සමූහයක් ලෙස The World ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
එය ඩුබායි වෙරළ තීරයේ සිට කිලෝමීටර් 4ක් දුරින් පිහිටා තිබේ.
සෑම දූපතක් ම එය අයත් වන මහාද්වීපයේ පිහිටි රටක්, නගරයක් හෝ කලාපයක් අනුව නම් කර ඇත.
ලොව පුරා සංස්කෘතීන්ගේ විවිධත්වය නරඹන්නන්ට අත්විඳීමට සලසන හෝටල්, ආපන ශාලා, නිවාඩු නිකේතන හෝ මන්දිර ආදී පහසුකම් පෞද්ගලික සමාගම් විසින් අදාළ දූපත්වල ඉදිකිරීම මෙහි සැලසුම විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නඛීල් ප්‍රොපර්ටීස් නම් රජයේ අනුග්‍රහය ලත් සමාගමක් විසින් සුඛෝපභෝගී ගොඩනැගිලි 4,000ක් සහ හෝටල් කිහිපයක් සහිත පාම් ජුමෙයිරා නම් කෘත්‍රිම දූපතක් මෑතකදී නිම කර තිබිණි. The World ව්‍යාපෘතිය සුවිශේෂී අක්වෙරළ ව්‍යාපෘතියක් (වෙනත් රටවල ක්‍රියාත්මක මූල්‍ය නීති අනුකූල නොවන) ලෙස ද සංවර්ධනය කිරීමට අදහස් කරන ලදී.
මෙම දූපත් සමූහය නිසා ඩුබායි නගරයට කිලෝමීටර් 230ක අතිරේක වෙරළ තීරයක් ද හිමි වීමට නියමිතය.
මේ සියල්ල හේතුවෙන් සංචාරකයින්ගේ සංඛ්‍යාත්මක ඉහළ යාමක් අපේක්ෂා කෙරිණි.
The World Dubai ව්‍යාපෘතිය 2003 වසරේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් අල් මක්ටූම් විසිනි.
The World ඉදිකළේ කෙසේ ද?
නඛීල් සමාගම The World දූපත් සමූහය ඉදිකිරීම ආරම්භ කළේ, එම වසරේදී ම ය.
මෙම දූපත් සකස් කරන ලද්දේ, පර්සියානු බොක්ක ප්‍රදේශයෙන් ලබා ගන්නා ලද වැලි ඝන මීටර් මිලියන 321ක් භාවිත කරමිනි.
පරිසරවේදීන් පවසන්නේ, වැලි කැණීම් හේතුවෙන් පර්සියානු බොක්කේ කොරල් පරවලට හානි සිදුව ඇති බව ය. එම කොරල් පර යළි ඇති කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා නඛීල් සමාගම සාගර ජීවවිද්‍යාඥයින් බඳවාගෙන තිබේ.
The World ගැටලුවකට මැදි වූයේ කෙසේ ද?
නඛීල් සමාගම 2008 වසරේදී දුපත් (සහ අවට දියකඩන) ඉදිකර අවසන් කළ අතර, ඉන් 70%ක් පෞද්ගලික සමාගම්වලට ලබා දීමට සමත් වූ බව පැවසීය.
කෙසේ වෙතත්, 2007 වසරේදී ආරම්භ වී 2010 දක්වා ඩුබායිහි පැවති දැවැන්ත මූල්‍ය අර්බුදය හේතුවෙන් දූපත්වල පහසුකම් ගොඩනැගීමේ කටයුතු නතර විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම කාල පරිච්ඡේදය තුළ, ඩුබායි දේපළ මිලෙහි විශාල පසුබෑමක් සිදුවූ අතර, එහෙයින්, බොහෝ පෞද්ගලික සමාගම් ඔවුන්ගේ සැලසුම් අත්හිටුවීමට හෝ ඒවා අවලංගු කිරීමට පෙළඹිණි.
ඩොලර් බිලියන ගණනක් ණය වශයෙන් ගෙවීමට නඛීල් සමාගමට සිදුවිය. එහි අනාගතය සුරක්ෂිත වූයේ, 2009 වසරේදී අසල්වැසි එමීර් රාජ්‍යයක් වන අබුඩාබි පාලනය, ඩුබායිහි ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් ආයෝජනය කිරීමෙන් පසුව ය. එයින් අදහස් වන්නේ, එහි මව් සමාගම වන ඩුබායි වර්ල්ඩ් සමාගම හරහා නඛීල් සමාගමට ඇප විය හැකි වූ බව ය.
The World ව්‍යාපෘතියේ මෙතෙක් ඉදිකර ඇත්තේ මොනවා ද?
ව්‍යාපෘතිය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා, නඛීල් සමාගම විසින් ලැප්ලෑන්ඩ් දූපතේ ප්‍රදර්ශන නිවසක් තබා ඇති අතර, ඔහුගේ සාර්ථකත්වය අගයමින් ෆෝමියුලා 1 ලෝක ධාවන ශූර මයිකල් ෂූමාකර් වෙත නිවසක් සහිත එක් දූපතක් පරිත්‍යාග කර තිබේ.
2012 වසරේදී රෝයල් අයිලන්ඩ් බීච් ක්ලබ් නමැති නිවාඩු නිකේතනය ලෙබනන් දූපතේ විවෘත විය. එය අවන්හල් සහ තැබෑරුමක් ද සහිත නිවාඩු නිකේතනයකි.
2022 වසරේදී හෝටල් කාමර, කාමර කිහිපයකින් යුත් නිකේතන, කුඩා නිවාස සහ සම්භාහන මධ්‍යස්ථානයක් ද සහිත අනන්තරා වර්ල්ඩ් අයිලන්ඩ්ස් විවෘත කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත්, The World දූපත් සමූහයේ දූපත් සියල්ල ම පාහේ තවමත් හිස් වැලි ගොඩක් ලෙස ම පවතී.
"ද වර්ල්ඩ් ව්‍යාපෘතියේ තියෙන ලොකු ම ප්‍රශ්නයක් තමයි, The Palm වගේ ඩුබායි එක්ක භෞතික සම්බන්ධයක් නැති එක," එක්සත් රාජධානියේ නිව්කාස්ල් විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා මහාචාර්යවරයෙකු සහ "A Journey into the Era of Artificial Islands" නමැති ග්‍රන්ථයේ කතුවරයා වන ඇලස්ටෙයාර් බොනට් පවසයි.
"මෝටර් රථයකින් දූපත්වලට පිවිසෙන්න පාලමක්වත්, මාර්ග සම්බන්ධතාවක්වත් නෑ," ඔහු පවසයි.
මේ හේතුවෙන්, දූපත් වෙත ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කම්කරුවන් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම මෙන් ම, ජලය සහ විදුලිය සැපයීම ද දුෂ්කර බවට ඉදිකිරීම් සමාගම් හඳුනාගෙන තිබේ.
දූපත් වෙත ඇති එක ම පොදු ප්‍රවාහන මාධ්‍යය වන්නේ, පාම් ජුමෙයිරා සිට ක්‍රියාත්මක වන මගී යාත්‍රා සේවය පමණි.
The World ව්‍යාපෘතියට අනාගතයේදී කුමක් සිදුවෙයි ද?
පසුගිය දශකය තුළ, ඔස්ට්‍රියානු ව්‍යවසායකයෙකු වන යෝසෙෆ් ක්ලීන්ඩයිනස්ට් විසින් ආරම්භ කරන ලද සහ පවත්වාගෙන යන ඩුබායි පදනම් කර ගත් ක්ලීන්ඩයිනස්ට් සමූහ ව්‍යාපාරය, The Heart of Europe නමැති ව්‍යාපෘතියක නිරත වෙමින් සිටී.
ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක වියදමින්, එය ජර්මනිය, මොනාකෝ, ස්වීඩනය සහ වැනීසිය (එම සැබෑ රටවල් කිසිවක් දූපත් නොවේ) නමින් The World දූපත් සමූහයේ යුරෝපීය ක්‍රමයට ඉදිකරන ලද සුඛෝපභෝගී හෝටල්, පෞද්ගලික මන්දිර සහ පාවෙන කුඩා නිවාස මාලාවක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
කාලගුණය අතිශය උණුසුම් මට්ටමක පවතින අවස්ථාවල සංචාරකයින්ට කෘත්‍රිම වැසි යටින් ගමන් කළ හැකි "වැසි වීදි" (Raining Street) පවා එහි ඉදිකරනු ඇත.
මෙම සංකීර්ණය 2026 වසරේදී විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දූපත් 260 ම "මහාද්වීපවලට" සම්බන්ධ කරමින්, The World ව්‍යාපෘතියේ ව්‍යුහයේ ප්‍රධාන වැඩ කිහිපයක් කිරීමට නඛීල් සමාගම කොන්ත්‍රාත්කරුවන් බඳවා ගනිමින් සිටී.
මුලදී, The Worldහි සෑම දූපතකට ම තමන්ගේම විදුලිය සහ ජල සැපයුමක් තිබීමට අදහස් කළ නමුත් මෙය මිල අධික හා ප්‍රායෝගික නොවන බව ඔප්පු විය.
මහාද්වීප ලෙස එකට සම්බන්ධ වී ඇති දූපත් හරහා සැලසුම් කෙරෙනුයේ, උපයෝගිතා සේවා බෙදාගැනීම ය.












