බින්ත් අල් හුසේන් කුමරිය: ඩුබායි පාලකයාගේ බිරිඳක් 'ලන්ඩනයේ සැඟවේ'

හයා බින්ත් අල් හුසේන් කුමරිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඩුබායි පාලක ෂෙයික් මොහමඩ් අල් මක්ටුම්ගේ බිරිඳක වන හයා බින්ත් අල් හුසේන් කුමරිය ලන්ඩනයේ සැඟවී සිටියි. ඒ සැමියාගෙන් වෙන්වී පැන ඒමෙන් අනතුරුව සිය ජීවිතය ගැන ඇතිවී තිබෙන බිය හේතුවෙන් බව විශ්වාස කෙරේ.

තුරඟ තරග සඳහා යොදාගන්නා අශ්ව හිමිකාර කෝටිපතියෙකු වන 69 හැවිරිදි ෂෙයික් මොහමඩ් 'ද්‍රෝහීවීම සහ පාවාදීම' ගැන නම සඳහන් නොකළ කාන්තාවකට චෝදනා කරමින් තම ඉන්ස්ටග්‍රෑම් අඩවියේ කවි පෙළක් පසුගියදා පළකර තිබුණි.

ජෝර්දානයේ ඉපිද බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ 45 හැවිරිදි හයා කුමරිය 2004 වසරේ ෂෙයික් මොහමඩ් සමග විවාහ වූයේ ඔහුගේ 6 වැනි සහ 'කනිෂ්ටම' බිරිඳ බවට පත්වෙමිනි.

ෂෙයික් මොහමඩ්ට තම විවාහ වලින් දරුවන් 23ක් ඇති බව වාර්තා වල දැක්වේ.

හයා කුමරිය මුලින්ම මේ වසර මුලදී ජර්මනියට පළා ගියේ එරට දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහාය. කෙසේ නමුත් දැන් ඇය ලන්ඩන් නගර මධ්‍යයේ ධන කුවේරයන් වෙසෙන ප්‍රදේශයක ඩොලර් මිලියන 107ක් වටිනා නිවසක වාසය කරමින් මහාධිකරණයේ නීති සටනකට සූදානම් වන බව වාර්තාවේ.

Princess Haya

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

හයා කුමරිය තම සුඛෝපභෝගී ඩුබායි ජීවිතය අත්හැරීමට සහ ඇයගේ ජීවිතය ගැන දැන් 'බියෙන් ජීවත්වන' බව පැවසෙන්නේ ඇයි ?

ඩුබායි පාලකයාගේ දියණියක වන ෂෙයිඛා ලතිෆා නිදහස් ජීවිතයක් ගතකිරීමේ අටියෙන් මාර්තු මස දී විදේශයකට පළා යාමට උත්සාහ කළ අවස්ථාවේ ඇය ගමන් කළ සුඛෝපභෝගී යාත්‍රාව ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදේදී අවිගත් පිරිසක් විසින් අවහිර කර ඇය යළි ඩුබායි වෙත රැගෙන යනු ලැබිණ.

මෙම අභිරහස් සිදුවීම ගැන යම් ආන්දෝලනාත්මක තොරතුරු මෑතකදී හයා කුමරියට දැනගන්නට ලැබී ඇති බව ඇයට සමීප ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් මෙම සිදුවීම සිදුවූ අවස්ථාවේ හයා කුමරිය ඩුබායි හි කිර්තිනාමය ආරක්ෂා කරමින් අදහස් පළකර තිබුණි.

ෂෙයිඛා ලතිෆා වෙනත් රටකට පැනයාමට තැත් දැරීමේදී ඇයගේ අනුමැතියෙන් තොරව බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවට මානව හිමිකම් සංවිධාන ඩුබායි පාලකයන්ට චෝදනා කරද්දී ඩුබායි බලධාරීන් පැවසුවේ ෂෙයිඛා ලතිෆා අපයෝජනයට ලක්වීමේ හැකියාවක් තිබු බවය. ඇය ආරක්ෂිතව ඩුබායිහි සිටින බව ඔවුහු සඳහන් කළහ.

මෙම සිදුවීම ගැන මේ වන විට හයා කුමරියට නව තොරතුරු රැසක් දැනගන්නට ලැබී තිබෙන බව පැවසෙන අතර ඒ සමඟම ඇයට තම සැමියාගේ පවුලේ උදවියගෙන් විවිධ පීඩන එල්ල වී තිබේ. ආරක්ෂාව තකා ඇය ඩුබායි වලින් පිට වී තිබෙන්නේ ඉන් අනතුරුවය.

හයා කුමරියට සමීප පුද්ගලයෙක් පැවසුවේ තමන් ද පැහැරගෙන ඩුබායි වෙත රැගෙන යනු ඇතැයි ඇය දැන් බියෙන් පසුවන බවය.

Princess Haya, pictured aged 19 in 1993, was a professional rider

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙම සිදුවීම ගැන අදහස් පළකිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලන්ඩන් තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් පවසන්නේ මෙය පුද්ගලයන් දෙදෙනෙකු අතර පුද්ගලික කරුණක් බවය.

කෙසේ නමුත් මෙම සිදුවීම රටවල් අතර ජාත්‍යන්තර සම්බන්ධතා වලටද බලපෑම් එල්ල කළ හැකියි.

හයා කුමරිය බ්‍රිතාන්‍යයේ දිගටම රැඳී සිටීමට අපේක්ෂා කරන බව පැවසෙන අතර, ඇයගේ සැමියා ඇය නැවත ඩුබායි වෙත ගෙන්වා ගැනීමට උත්සාහ කළහොත් එය රාජතාන්ත්‍රික ගැටළුවක් දක්වා වර්ධනය විය හැක. බ්‍රිතාන්‍ය සහ එක්සත් එමීර් රාජ්‍ය සමීප සම්බන්ධතා පවත්වන රාජ්‍යයන් දෙකකි.

ඊට අමතරව ජෝර්දානයට ද මෙය ගැටළුවක් වීමට ඉඩ ඇත්තේ හයා කුමරිය, ජෝර්දාන අබ්දුල්ලා රජුගේ ගේ සොයුරියක් ද වන නිසාය. ලක්ෂ 2 1/2 අසාන්න ජෝර්දාන වැසියන් එක්සත් අරාබි රාජ්‍යයේ රැකියාවල නිරත වෙන අතර ජෝර්දානයට ඩුබායි සමග භේදයක් ඇති කිරීම ඊට දැඩි බලපෑම් එල්ලකළ හැකිය.

තවත් කියවන්න: