'සුපර්මෑන් චිත්‍රපටවල දුෂ්ටයා' බිරිඳ සමග නිවසේ මියගොස් සිටියදී හමුවේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, පෝල් ග්ලින්
- Role, සංස්කෘතික පුවත් වාර්තාකරු
ඔස්කාර් සම්මානලාභී ඇමෙරිකානු රංගන ශිල්පී ජීන් හැක්මන්, ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා සහ ඔවුන්ගේ සුනඛයා නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේහි පිහිටි ඔවුන්ගේ නිවසේ මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතය තුළ, හැක්මන් The French Connection සහ The Unforgiven යන චිත්‍රපටවල සිය රංග කාර්යය වෙනුවෙන් ඇකඩමි සම්මාන දෙකක් දිනා ගත්තේ ය.
නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ ප්‍රාන්ත ෂෙරිෆ්වරයා මෙසේ පැවසීය: "ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනා ම බදාදා දහවල් සන්සෙට් ට්‍රේල්හි පිහිටි ඔවුන්ගේ නිවසේදී මියගොස් සිටි බව අපට තහවුරු කරන්න පුළුවන්.
"මේ ගැන දැන් පරීක්ෂණ සිද්ධ වෙනවා - කොහොම වුණත්, මේ අවස්ථාවේ අපි විශ්වාස කරන්නේ නැහැ මොනවා හරි අපරාධමය ක්‍රියාවක් වෙලා තියෙනවා කියලා."
හැක්මන් 95 වන වියේ පසුවූ අතර සම්භාව්‍ය පියානෝ වාදන ශිල්පිනියක වූ ඔහුගේ බිරිඳ 64 වන වියේ පසු වූවා ය.
විලියම් ෆ්‍රීඩ්කින්ගේ 1971 වසරේ තිරගත කෙරුණු ත්‍රාසජනක චිත්‍රපටයක් වන The French Connectionහි ජිමී "පොපි" ඩොයිල්ගේ චරිතය වෙනුවෙන් ඔහු හොඳ ම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් අතර 1992දී ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ බටහිර චිත්‍රපටයක් වන වන Unforgiven ලිට්ල් බිල් ඩැගට්ගේ චරිතය වෙනුවෙන් හොඳ ම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ය.
ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වුණු ඔහුගේ අනෙකුත් චරිත වූයේ 1967 වසරේ තිරගත වුණු Bonnie and Clyde චිත්‍රපටයේ බක් බැරෝ ලෙස ඔහුගේ පෙරළිකාර භූමිකාව සහ 1970 තිරගත වුණු I Never Sang for My Fatherහි චරිතය මෙන් ම Mississippi Burning (1988) චිත්‍රපටයේ ඒජන්ට්ගේ චරිතයයි.
සැන්ටා ෆේ ප්‍රාන්තයේ ෂෙරිෆ්වරයාගේ කාර්යාලය පැවසුවේ: "2025 පෙබරවාරි 26 වන දින දළ වශයෙන් ප.ව. 1:45ට පමණ, සැන්ටා ෆේ ප්‍රාන්ත ෂෙරිෆ්වරයාගේ නියෝජිතයන් පිරිසක් හයිඩ් පාර්ක්හි ඕල්ඩ් සන්සෙට් ට්‍රේල්හි පිහිටි නිවසක් වෙත යවන ලද අතර එහිදී ඔවුන්ට 95 හැවිරිදි ජීන් හැක්මන් සහ 64 හැවිරිදි ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා සහ සුනඛයෙකු මියගොස් සිටියදී හමුව තිබෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1970 සහ 1980 ගණන්වල සුපර්මෑන් චිත්‍රපටවල ලෙක්ස් ලූතර් චරිතය ද ඇතුළුව සමස්තයක් වශයෙන් චරිත 100කට වඩා වැඩි ගණනක් රඟපෑ හැක්මන් ජනාදරය පාත්‍ර වූ රංගන ශිල්පියෙකු විය.
ඔහු Runaway Jury සහ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොලාගේ The Conversation යන ජනප්‍රිය චිත්‍රපටවල මෙන් ම, වෙස් ඇන්ඩර්සන්ගේ The Royal Tenenbaums චිත්‍රපටවල ද ප්‍රධාන චරිතයට පණ පෙවීය.
ඔස්කාර් ජයග්‍රහණ මෙන් ම, ඔහු Bafta සම්මාන දෙකක්, Golden Globe සම්මාන හතරක් සහ Screen Actors Guild Award සම්මානයක් ද ලබා ගැනීමට සමත් විය.
අවසාන වශයෙන් ඔහු රඟපෑ දැවැන්ත චරිතය වූයේ, 2004 වසරේ Welcome to Mooseport චිත්‍රපටයේ මෙන්රෝ කෝල් චරිතය යි. අනතුරුව ඔහු නිව් මෙක්සිකෝවේ නිහඬ ජීවිතයක් ගත කිරීම සඳහා හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත් විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1930දී කැලිෆෝනියාවේ උපත ලැබූ හැක්මන් වයස අවුරුදු 16දී ව්‍යාජ වයසක් සඳහන් කර හමුදාවට බැඳී වසර හතරහමාරක් සේවය කළේ ය.
ඔහු 1951දී හමුදාවෙන් ඉවත් වීමට පෙර චීනය, හවායි සහ ජපානයේ ඔහු සේවයේ නිරත විය.
හමුදා සේවයෙන් අනතුරුව, ඔහු නිව් යෝර්ක්හි දිවි ගෙවූ අතර එහි රැකියාවක නිරත වෙමින් ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ පුවත්පත් කලාව සහ රූපවාහිනී නිෂ්පාදනය හැදෑරීය. පසුව ඔහු තම රංගන සිහිනය හඹා යාමට නැවත කැලිෆෝනියාවට යාමට තීරණය කළේ ය.
එහිදී හැක්මන් ඔහුට තරුණ ඩස්ටින් හොෆ්මන් හමුවූ පැසඩීනා රංග පාසල සම්බන්ධ විය.
"මම හිතන්නේ මට නළුවෙක් වෙන්න ඕනේ උණේ වයස අවුරුදු 10දී විතර, සමහර විට ඊටත් වඩා පොඩි කාලෙදි," ඔහු වරෙක පැවසීය. "මම බලපු පරණ චිත්‍රපට ගැන මතක් කළොත් සහ මම අගය කරපු නළුවෝ ගැන කිව්වොත්, ජේම්ස් කැග්නි, එරොල් ෆ්ලින්, රොමෑන්ටික්, ත්‍රාසජනක චරිත කරපු නළුවෝ.
"ඒ නළුවෝ දැක්කා ම, මට දැනුණා මටත් ඒක කරන්න පුළුවන් කියලා. ඒත් මම රැකියාවක් කරන්න කලින් අවුරුදු අටක් විතර නිව්යෝක්වල හිටියා. මම කාන්තා සපත්තු විකුණුවා, ඔප දැමූ සම්භාණ්ඩ විකුණුවා, තව ට්‍රක් රථයක් පැදෙව්වා.
"මම හිතන්නේ ඔයාගේ ඇතුළේ ඒක තියෙනවා නම් සහ ඔයාට ඒක ඕනේ ම නම්, ඔයාට ඒක කරන්න පුළුවන්."
තමාට "රඟපෑමට අවශ්‍ය වූ" නමුත් "නළුවන් සම විට ම කඩවසම් විය යුතු බව සිතේ දැඩිව කාවැදී තිබුණු බව " ද ඔහු පැවසීය.
"ඒක වුණේ එරොල් ෆ්ලින් මගේ අයිඩල් එක වුණ දවසේ ඉඳලා. සිනමා ශාලාවෙන් එළියට ඉද්දි මට මම එයා කියල දැනුනත් කණ්ණාඩියෙන් මූණ බලද්දී මම පුදුමයට පත් වෙනවා. මොකද මම ෆ්ලින් වගේ නෙවෙයි."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1963දී නැවත නිව් යෝර්ක් වෙත ගිය ඔහු ඕෆ්-බ්‍රෝඩ්වේ නිෂ්පාදනවල සහ රූපවාහිනියේ විකාශය වුණු නාට්‍යවල කුඩා චරිත රඟපෑවේ ය.
නමුත් ඔහු 1970 දශකයේ ඔහු සිය නම ප්‍රේක්ෂකයින් අතරට ගෙන යාමට සමත් වූයේ The French Connection චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එනම්, නිව් යෝර්ක් නගරයේ රහස් පරීක්ෂක ජිමී 'පොපයි' ඩොයිල්ගේ චරිතයට පණ පොවමිනි.
එතැන් සිට ඔහු 1972 වසරේ තිරගත වුණු The Poseidon Adventure වැනි දැවැන්ත චිත්‍රපටවල සිට රිදී තිරයට හුරුපුරුදු කෙනෙකු විය.
හැක්මන් සහ ඔහුගේ පළමු බිරිඳ ෆේයි මෝල්ටීස් වසර 30ක කාලයක් එක්ව දිවි ගෙවූ අතර ඔවුන්ට දාව දරුවන් තිදෙනෙක් වූහ. අනතුරුව ඔවුහු 1986 වසරේදී දික්කසාද වූහ.
ඔහුගේ ජීවිතයේ පසු කාලය තුළ, ඔහු සහ සම්භාව්‍ය පියානෝ වාදන ශිල්පිනියක වන ඔහුගේ දෙවන බිරිඳ වන බෙට්සි අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළ නමුත් ඔහු Cecil B. deMille සම්මානය දිනා ගත් 2003 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී යුවළ ප්‍රසිද්ධියේ පෙනී සිටියහ.
2008 වසරේදී ඔහු රොයිටර්ස් පුවත් සේවය වෙත මෙසේ පැවසීය: "මම විශ්‍රාම ගැනීම ප්‍රකාශ කරන්න මාධ්‍ය හමුවක් පැවැත්වුවේ නැහැ. ඒත් ඔව්, මම තවදුරටත් රඟපාන්නේ නැහැ.
"පසුගිය වසර කිහිපය තුළ, හොඳ චරිතයකට ආරාධනාවක් අවොත් කියලා මට විශ්‍රාම ගැනීම ගැන කියන්න එපා කියලා තිබුණේ. ඒත් තවදුරටත් මට ඒක කරන්න ඕනේ නැහැ."
ඔහු තම අවධානය රිදී තිරයෙන් ඉවතට ගෙන නවකතා ලිවීමට ඇති ආශාව දෙසට යොමු කරන බව ද ඔහු පැහැදිලි කළේ ය.
"මා පුහුණු වී ඇත්තේ නළුවෙකු වීමට මිස තරුවක් වීමට නොවෙයි. මා පුහුණු වී ඇත්තේ චරිත නිරූපණය කිරීමට මිස කීර්තිය හා නියෝජිතයන් සහ නීතිඥයින් සහ පුවත්පත් සමග ගනුදෙනු කිරීමට නොවෙයි," ඔහු වරක් පැවසීය.
"මම මං ගැන ම හිතද්දී මම තරමක් තරුණයි කියලා මට හිතෙනවා. ඒත් මේ එල්ලෙන කම්මුල් සහ වෙහෙසට පත් ඇස් තියෙන, කොණ්ඩේ ගියපු වගේ දේවල් තියෙන වයසක මනුස්සයා දිහා බලද්දී. මට මාව තිරයෙන් දකින එක හරි අපහසු දෙයක්."
















