LPL 2024 : පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කළ චමිදු වික්‍රමසිංහ යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Chamidu Wickramasinghe | Facebook
මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (ජුලි මස 01 වැනිදා) ආරම්භ වුයේ, කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර තරගයෙන් කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමට ජය හිමිකර දෙමිනි.
එහෙත් පළමු තරගයේදී ම දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියෝජනය කළ නවක ක්‍රීඩකයෙකු වන චමිදු වික්‍රමසිංහ දැක්වූ දක්ෂතාවය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
චමිදු වික්‍රමසිංහ දැක්වූ දක්ෂතාවය
(ජුලි 01 වැනිදා) කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 25 කට දැවී ගියේය.
ඒ අවස්ථාවේදී අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසුණු වමතින් පිත්ත හසුරුවන චමිදු වික්‍රමසිංහ පන්දු 42 කදී නොදැවී ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය.
LPL තරගාවලියේ සිය මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ චමිදුගේ එම ඉනිමට හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් 4ක් ඇතුළත් විය.
පන්දු 61කදී වේගවත් ලකුණු 91ක් රැස් කළ නවසිලන්ත පිතිකරු මාර්ක් චැප්මන් සමග එක්වෙමින් චමිදු වික්‍රමසිංහ සිය කණ්ඩායමේ 05 වන කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ලකුණු 154ක සබඳතාවයක් එක් කිරීමට සමත් වුණි.
වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, මොහොමඩ් හස්නෙයින් වැනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල පන්දු යවන්නන්ට කිසිදු පැකිලීමකින් තොරව මුහුණ දුන් චමිදු වික්‍රමසිංහ පිළිබඳ අද වන විට බොහෝ දෙනා කතා කරන්නට පටන් ගෙන ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Dambulla Sixers | Facebook
කවුද මේ චමිදු වික්‍රමසිංහ කියන්නේ ?
2002 වසරේ සැප්තැම්බර් මස 6 වැනිදා උපත ලැබු චමිදු වික්‍රමසිංහ ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවී ඇත්තේ කුඩා කාලයේ සිටය.
මහනුවර සාන්ත අන්තෝනි විදුහලේ අධ්‍යාපනය ලැබූ චමිදු වික්‍රමසිංහ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදීය.
චමිදු වික්‍රමසිංහ වරක් මාධ්‍යට පැවසුවේ පාපන්දු ක්‍රීඩකයෙකු වූ තම සීයාගේ උනන්දුව මත තමා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ බවය.
කුඩා කාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් දැක්වූ චමිදු පාසැල් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම ආරම්භක වේග පන්දු යවන්නා ලෙසද ක්‍රීඩා කරනු ලැබීය.
2021 වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර තරගාවලියේදී චමිදු විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව පන්දු 58 කදී ලකුණු 112ක් රැස් කිරීමට සමත් විය.
එම තරග වාරයේදී පාසැල් ක්‍රීඩකයෙකු විසින් රැස් කළ වේගවත්ම ශතකය එය වූ අතර ඊට හතරේ පහරවල් 19ක් සහ හයේ පහරවල් තුනක් ඇතුළත් විය.
අඛණ්ඩව පාසැල් තරග වාරයන් හිදී දැක්වූ දක්ෂතාවයන් නිසා චමිදු වික්‍රමසිංහට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමිවිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2021 වසරේදී ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් බංගලාදේශ කණ්ඩායම සමග දඹුල්ලේදී පැවති එක්දින තරගාවලියේ දී චමිදු වික්‍රමසිංහ ලකුණු 102ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 03ක් සහ හතරේ පහරවල් 10ක් ඇතුළත් විය.
එමෙන්ම නේපාල අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේ දී චමිදු වික්‍රමසිංහ සිය දෙවන ශතකය වාර්තා කළේය.
ඔහු එහිදී ලකුණු 111ක් රැස් කළ අතර එයට හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් දෙකක් ඇතුළත් විය.
2022 වසරේ පැවති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ද චමිදු වික්‍රමසිංහට අවස්ථාව හිමිවිය.
කොළඹ SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරන චමිදු වික්‍රමසිංහ පළමු පෙළ තරග 08කට ක්‍රීඩා කරමින් ඉනිම් 10 කදී ශතකයක් ද සමගින් ලකුණු 268ක් රැස් කර ගෙන ඇත.
එමෙන්ම ඔහු A - කාණ්ඩයේ තරග 17 කදී ලකුණු 378ක් සහ විස්සයි 20 තරග 18 කදී ලකුණු 158ක් රැස් කරගෙන ඇත.
දකුණත් වේග පන්දු යවන්නෙකු ලෙස චමිදු මේ දක්වා සිය ක්‍රීඩා සමාජ තරග වලදී මේ දක්වා කඩුලු 16ක් දවා ගැනීමට සමත්ව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
‘මෙතැනට එන්න ගොඩක් මහන්සි වුණා’
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග (ජුලි 01 වැනිදා) පැවති තරගයෙන් පසුව අදහස් දක්වමින් චමිදු වික්‍රමසිංහ කියා සිටියේ වේග පන්දු තුන් ඉරියවු ක්‍රීඩකයෙකු ගේ ස්ථානය තහවුරු කර ගැනීමට තමන් කැපවී කටයුතු කරන බවය.
‘මීට කලින් 2022 වසරේදී මම ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළා. තරග දෙකයි ක්‍රීඩා කළේ, නමුත් හොඳින් දක්ෂතා දක්වන්න ලැබුනේ නැහැ.’
‘හැබැයි මේ අවුරුද්දේ අවස්ථාවක් ලැබුණා. මම හිතෙනවා පළවෙනි මැච් එකේදිම මගෙ කණ්ඩායම වෙනුවෙන් උපරිමයක් කළා කියලා. ඇත්තටම ගොඩක් සතුටුයි.’
‘එහා පැත්තේ හිටියා නිව්සීලන්ඩ් ටීම් එකේ මාර්ක් චැප්මන්. එයාට ලොකු එක්ස්පිරියන්ස් එකක් තියෙනවා. මම එයත් එක්කත් කතා කළා. එයා කිව්වා ඉදලා මට සපෝර්ට් කරන්න කියලා. මම හිතන්නේ මම සපෝර්ට් කළා කියලා.’
‘අපි ඒවෙලේ කතා කළේ අපි සෙල්ලම් කරන් ආපු විදිහට දිගටම සෙල්ලම් කරන් යමු කියලා විකට් එක නිකන් නොදී ඒ අය තව පන්දු රකින්නෙක් ඇතුළට ගෙනාවත්. ඒ ක්‍රමය හරි ගියා.’
‘අපි හිටපු තත්ත්වය එක්ක ලකුණු 180ක් කරා ගියාපු එක ලොකු ඇචිව්මන්ට් එකක් කියලා හිතනවා.’
‘ඇත්තටම මෙතැනට එන්න ගොඩක් මහන්සි වුණා. පහුගිය මාස 03දි මම ඉන්දියාවේ හිටියේ MRF වේග පන්දු පුහුණු කඳවුරට සහභාගී වෙලා. ඒකෙන් ගොඩක් දේවල් ලැබුණා කියලා හිතනවා. මේ තරගයේ දී දක්ෂතා අතරට එන්න ඒ අත්දැකීම් මට ගොඩක් උදව් වුණා.’
‘දැනට තියෙන තත්ත්වයත් එක්ක වේග පන්දු යවන තුන් ඉරියවු ක්‍රීඩකයෙක් ඕන. මම ගොඩක් මහන්සි වෙනවා ඒ තැනට ක්‍රීඩා කරන්න. ක්‍රීඩා කරලා රට දිනවන්නයි මගෙ බලාපොරොත්තුව තියෙන්නේ.’
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී පන්දු 42 කදී නොදැවී ලකුණු 62ක් ද, පන්දු යැවීමෙන් ලකුණු 31 කට එක් කඩුල්ලක් දවා ගැනීමට චමිදු වික්‍රමසිංහ සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Chamidu Wickramasinghe| Facebook
'එයාගේ පරිණතභාවය පෙන්නුවා'
දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම බීබීසී සිංහල වෙත පැවසුවේ චමිදු වික්‍රමසිංහ (ජුලි 01 වෙනිදා) ක්‍රීඩා කළ ඉනිම පිළිබඳ තමන් තුළ පැහැදීමක් ඇති බව ය.
එම දක්ෂතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම ක්‍රීඩකයෙකු ලෙස ඔහුට ඉතා වැදගත් බව රොෂාන් මහානාම පැවසීය.
‘චමිදු ඊයේ ක්‍රීඩා කරපු විදිහ ගැන පැහැදීමක් තිබෙනවා. ඕක එකක කරලා නතර කරලා බැහැ දිගටම කරන් යන්න ඕන.’
‘ඊයේ විකට් 04ක් ගිහිල්ලා තියෙද්දී චමිදු බැට් කරන්න ආවේ. එයා ඊයේ පෙන්නුවා එයාගේ තියෙන පරිණතභාවය. හදිසියෙනේ බැට් කරන්න යන්න වුනේ. කණ්ඩායමේ ඉන්න ලාබාලම ක්‍රීඩකයා. වගකීමක් අරන් ක්‍රීඩා කරනවා කියන්නේ ඒක මේ මැච් එක වටහා ගත්තා. එයා අවුරුදු 19න් පහළ හොදට ක්‍රීඩා කරලා තියෙනවා.’
‘ඒ වගේම හැම ගේම් එකකම මේ වගේ ඇනලයිස් කරලා සෙල්ලම් කරන්න ඕන.මේ විදිහට හොද මානසිකත්වයක් තියාගෙන සෙල්ලම් කරන්න.’
‘එයා බැට් එකෙන්, බෝල් එකෙන් වගේම පන්දු රැකීමෙන් හොඳට ක්‍රීඩා කරනවා දකින්නයි කණ්ඩායම කැමැති. එයාට ඒ දක්ෂතාවය තියෙනවා.’ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම වැඩිදුරටත් පැවසීය.













