සියවසක් සපිරෙන ලෙනින්ගේ සොහොන ගැන දැනගත යුතු කරුණු 5ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අන්ද්‍රේ කොසෙන්කෝ
- Role, බීබීසී රුසියානු සේවය
මොස්කව්හි රතු චතුරස්‍රයේ පිහිටි ලෙනින්ගේ සොහොනේ සියවස් සැමරුම 2024 අගෝස්තු 01 වන දා පැවැත්විණි.
එය විවෘත කළ දා සිට එම ස්ථානය චාරිත්‍රානුකූල සහ ආරක්ෂක පෙළපාළි විශාල සංඛ්‍යාවක් සඳහා යොදාගෙන තිබේ.
වසර ගණනාවක කාලය තුළ, ලෙනින්ගේ එම්බාම් කළ දේහය සොහොනෙන් ඉවත් කර ආපසු ස්ථානගත කර ඇති අතර, ජෝසෆ් ස්ටාලින්ගේ දේහය ද එහි තැන්පත් කර තිබූ නමුත් පසුව ඉන් ඉවත් කරන ලදී.
1970 ගණන්වලදී, ලෙනින්ගේ දේහය තැන්පත් කර ඇති ශෛලමය සොහොන් ගෙය විනාශකාරී උත්සහයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඊට වෙඩි නොවදින වීදුරු සවි කරන ලදී. 1990 ගණන්වලදී ලෙනින්ගේ දේහය භූමදාන කරන ලෙස සැලකිය යුතු ඉල්ලීම් සංඛ්‍යාවක් ඉදිරිපත් විය.
මේ, ලෙනින්ගේ සොහොන් ගෙය ගැන ඔබ නොදැන සිටි කරුණු 5කි.
එය කාගේ අදහසක් ද?
ලෙනින්ගේ දේහය සංරක්ෂණය කිරීමේ අදහස ජෝසෆ් ස්ටාලින්ට මුලින් ම ඇති වූයේ, 1923 ගිම්හානයේදී බවට වන මතයට ඉතිහාසඥයෝ එකඟ වෙති.
එම කාලයේදී, සෝවියට් චෙකා ආරක්ෂක ආයතනයේ (KGB සහ FSB ආරක්ෂක ආයතන ආරම්භ වීමට පෙර පැවති ආරක්ෂක ආයතනය) නායකයෙකු කාර්කිව්හි සටනක් අතරතුරදී මිය ගිය අතර, ව්ලැඩිමීර් වොරොබ්යොෆ් නම් තරුණ විද්‍යාඥයෙකු ඔහුගේ දේහය එම්බාම් කළේ ය. මොස්කව්හිදී එම මළ සිරුර දුටු කොමියුනිස්ට්වාදීන් එය හොඳින් සංරක්ෂණය කර තිබූ තත්ත්වය ගැන පැහැදිණි.
එම වසරේදී ම නොවැම්බර් මාසයේදී, ඒ වන විට ජීවතුන් අතර සිටිය ද මාරාන්තික ලෙස රෝගාතුරව සිටි ලෙනින්ගේ ආසන්නයේදී සිදුවිය හැකි මරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ස්ටාලින් පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.
එහිදී, ස්ටාලින් තර්ක කළේ, ලෙනින්ගේ දේහය එම්බාම් කර, සංරක්ෂණය කළ යුතු බවට ය. 1930 ගණන්වලදී සියලු දෙනා ඝාතනය කෙරුණු එවකට විපක්ෂය එම අදහසට විරුද්ධ විය. මාක්ස්වාදය තුළ ශරීරික ධාතු පිළිනොගන්නා බව ලියොන් ට්‍රොට්ස්කි ප්‍රකාශ කළ අතර, නිකොලායි බුකාරින් අවධාරණය කළේ, විප්ලවයේ නායකයා මමියක් බවට පත් කිරීම ඔහු පිළිබඳ මතකයට අපහාසයක් වනු ඇති බව ය.
ලෙනින්ගේ බිරිඳ වූ නදෙස්දා කෘප්ස්කායාගේ ද ඉල්ලීම වූයේ, ලෙනින්ගේ දේහය පූජනීය වස්තුවක් බවට පත් නොකළ යුතු බව ය.
එසේ වුව ද, පරම බලයක් කරා ගමන් කරමින් සිටි ස්ටාලින්, වඩාත් දැඩි මතයක සිටියේ ය. ඔහු කම්කරු සාමූහික සංවිධානවල ලිපි උපුටා දැක්වූ නමුත්, එම ලිපි අව්‍යාජ බිම් මට්ටමේ ක්‍රියාන්විතයන් ද, එසේ නැතහොත්, ස්ටාලින්ගේ පිරිවර විසින් සංවිධානය කරන ලද ඒවා ද යන්න දැන් නිශ්චය කළ නොහැක. මෙම ලිපිවලින් ප්‍රකාශ වූ ප්‍රධාන අදහස වූයේ, ලෙනින් සැමවිටම ඔවුන් සමඟ සිටිය යුතු බව ය.
එය ඉදිකළේ කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මීටර් තුනක් පමණක් උසැති ලෙනින්ගේ සොහොන් ගෙයි පළමු සැලැස්ම ඔහුගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරුණු දිනට දින තුනකටත් අඩු කාලයකදී ඉදිකරන ලදී. ගෘහ නිර්මාණ ශිල්පියා ඇලෙක්සි ෂූසෙව් වූ අතර ඔහු පසුකාලීන සැලසුම් ද නිර්මාණය කළේ ය.
1924 ජනවාරි 21 වන දා ලෙනින් මිය ගිය අතර, අවමංගල්‍ය උත්සවය මාර්තු අවසන් වන තෙක් පැවතිණි. පළමුව ඉදි කෙරුණු සොහොන් ගෙය නැරඹූ පිරිස මිලියන ගණනක් බව පිළිගැනේ.
1924 ගිම්හාන සමය වන විට, ලෙනින් එම්බාම් කර ඔහුගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමේ අදහස දැඩි ලෙස ක්‍රියාත්මක විය. ෂූසෙව් නව ගොඩනැගිල්ලක් සැලසුම් කිරීමට පටන් ගත් අතර, විද්‍යාඥයන් වන ඇලෙක්සෙයි වොරොබ්යොෆ් සහ බොරිස් ස්බාර්ස්කි එම්බාම් කිරීමේ කටයුතුවල නිරත වූහ.
1924 අගෝස්තු මස 01 වන දා සොහොන් ගෙය මහජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි. එය දැවයෙන් සාදන ලද නමුත් වර්තමාන සැලැස්මට සමාන ප්‍රමාණයෙන් සහ හැඩයෙන් යුක්ත විය. ග්‍රැනයිට්වලින් ඉදිකරන ලද සොහොන් ගෙය නිම කරන ලද්දේ, 1930 සරත් ඍතුවේදී ය. එහි තොරණක් වැනි හැඩය ස්ටාලින්ගේ දර්ශනයට ආසන්න වූ අතර, එය සෝවියට් සංගමයේ සුවිශේෂත්වය සහ ශ්‍රේෂ්ඨත්වය අවධාරණය කළේ ය. ලෝකයේ නිර්ධන පංතියේ නායකයාගේ දේහය ගාම්භීර ලෙස පසු කර යාමට මිනිසුන් දිගු පෝළිම්වල රැඳී සිටිනු ඇත.
ලෙනින් සිය සොහොන් ගෙය ස්ටාලින් සමග බෙදා ගනී
1953 වසරේදි ස්ටාලින්ගේ මරණයෙන් පසු, ඔහුගේ දේහය ද ලෙනින්ගේ සොහොන් ගෙයි තැන්පත් කිරීමට තීරණය විය.
ආරම්භයේ සිට ම, ගැටලු පැවතිණි: ස්ටාලින්ගේ ශරීරයේ සම, විශේෂයෙන් ඔහුගේ මුහුණේ සම, එම්බාම් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් ඉතා දුර්වල තත්ත්වයක පැවතිණි. පැරණි සැලැස්මට ඉහළින් "LENIN STALIN" යන නව ලේඛනයක් තබා ඇත, ඇතැම් විට වර්ෂාවෙන් සේදී යාමෙන්, ඊට යටින් "LENIN" යන ඓතිහාසික අකුරු හෙළිදරව් වී තිබේ.
ස්ටාලින්ගේ පෞරුෂ වන්දනාව සහ ඔහුගේ යුගය තුළ සිදුවූ මහජන මර්දනය ආදී කරුණු හේතුවෙන්, ස්ටාලින්ගේ දේහය 1961 වසරේදී ලෙනින්ගේ සොහොන් ගෙයින් ඉවත් කර එය ක්‍රෙම්ලින් තාප්පය ආසන්නයේ තැන්පත් කරන ලදී.
1982 වසරේදී ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් මිය ගිය විට, ප්‍රකට විහිළුවක් පැතිර ගියේ ය: ඒ, සොහොන් ගෙය මත තිබූ "LENIN" යන අකුරු වෙනුවට "LЁNIN" (බ්‍රෙෂ්නෙව්ගේ නම මත නාට්‍යයක්) යන්න යෙදෙනු ඇති බව ය.
මතවාදී යුද්ධ නැව් සහ විනාශකාරී ස්ථානයක්
යුද්ධයෙන් පසු සෝවියට් සංගමය බිඳවැටෙන තුරු, විදේශීය සම්භාවනීය අමුත්තන් සහ සෝවියට් පාසල් සිසුන් විසින් සංචාරය කරන ලද සොහොන් ගෙය පූජනීය ස්ථානයක් විය.
1945 මැයි මාසයේදී, ජයග්‍රාහී පෙළපාළිය අතරතුර, දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් සංගමයේ ජයග්‍රහණය සනිටුහන් කිරීම සඳහා ජර්මානු හමුදාවේ නාසි ධජ සොහොන් ගෙය ඉදිරිපිට බිම දමන ලදී.
ලොව ප්‍රථම අභ්‍යවකාශගාමියා වූ යූරි ගගාරින් මෙම සොහොන් ගෙය මතදී සෝවියට් නායක නිකිටා කෘෂෙව් විසින් පිළිගනු ලැබීය.
1950 ගණන්වල සිට 1970 ගණන්වල අග භාගය දක්වා ලෙනින්ගේ දේහය ගල්, මිටි, සහ මොලොටොව් කොක්ටේල් නමැති ගිනිගන්නාසුලු දියර ප්‍රහාර ඇතුළු ප්‍රහාර රැසකට ඉලක්කය විය. එහිදී, සාමාන්‍යයෙන් වැරදි කරුවන් අල්ලා අනිවාර්ය මානසික ප්‍රතිකාර සඳහා යවන ලදී.
1973 වසරේදී පුපුරණ උපකරණයක් හේතුවෙන් සංචාරකයින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පසුව ලෙනින්ගේ මෘත දේහය වෙඩි නොවදින වීදුරුවකින් ශක්තිමත්ව ආවරණය කරන ලදී.
ලෙනින්ගේ දේහය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු, කොමියුනිස්ට් අදහස් පිළිකුල් කළ ජනාධිපති බොරිස් යෙල්ට්සින් රතු චතුරස්‍රයේ සිය දේශන පැවැත්වීමට තෝරා ගත්තේ සොහොන් ගෙහි සිට නොව ඒ අසල විශේෂයෙන් සවි කර ඇති වේදිකාවක් මත ය.
1990 ගණන්වල මුල් භාගයේදී, ලෙනින්ගේ සිරුර නඩත්තු කිරීම සඳහා වගකිව යුතු රසායනාගාරයට ඊට විශේෂ වූ අරමුදල් අහිමි විය.
එතැන් සිට, සොහොන් ගෙය සහ ලෙනින්ගේ දේහය සංරක්ෂණය කිරීම පිළිබඳ වාර්තා චිත්‍රපට කිහිපයක් රුසියානු රූපවාහිනී නාලිකාවල විකාශය කෙරිණි. මෙම චිත්‍රපට මගින් අනාවරණය කෙරුණේ, ලෙනින්ගේ දේහය එහි මුල් ප්‍රමාණයෙන් 23%ක් පමණක් ඉතිරි වී ඇති බවත් ඉතිරිය කෘත්‍රිම එකතු කිරීම් මගින් ප්‍රතිස්ථාපනය කර ඇති බවත් ය.
වර්තමානය වන විට, ලෙනින්ගේ සොහොන් ගෙය රුසියාවේ සංචාරක ආකර්ෂණය හිමි වූ ස්ථානයක් බවට පත්ව තිබේ. Google Maps සහ සංචාරක වෙබ් අඩවියක් වන TripAdvisorහි සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම තරු පහෙන් හතරක් ලෙස දැක්වේ. ඒ සම්බන්ධව පළ කර ඇති අදහස් අතර, "මගේ දරුවා ඔහුගේ කහ පැහැති මුහුණෙන් බියට පත් විය" යන්නෙහි සිට "මෙම ස්ථානය සෝවියට් යුගය ගැන පළමුවෙන් හෝ ඔවුන්ගේ ආච්චිලා සීයලාගෙන් හෝ දෙමාපියන්ගෙන් අසා ඇති ඕනෑ ම කෙනෙකුට පැමිණීම වටී" යන්න දක්වා සටහන් කර තිබේ.
නායකයින්ගේ එම්බාම් කරන ලද සිරුරු සහිත සොහොන් නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ කොමියුනිස්ට් රටවල පමණක් පවතී. චීනයේ කොමියුනිස්ට් නායක මාඕ සේතුං සහ වියට්නාමයේ හෝ චි මිං ගේ සිරුරු ද ඊට අයත් ය. උතුරු කොරියාවේ, හිටපු නායක කිම් ඉල් සුංගේ සහ ඔහුගේ අනුප්‍රාප්තික කිම් ජොං ඉල්ගේ දේහයන් ද සොහොන් ගෙයක එම්බාම් කර තැන්පත් කර තිබේ.












