ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මීටර් 150ක් වගේ දුරට උඩින් විසිවෙලා තිබුණා': නා උයනේ අනතුරින් අපවත් වූ භික්ෂූන් 7 දෙනා කවුද?
- Author, බීබීසී සිංහල
මැල්සිරිපුර, පන්සියගම පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා 13 නමක් ගමන් ගත් ඩක්කුවක් හදිසි අනතුරකට ලක්වීමෙන් විදෙස් භික්ෂූන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා 7 දෙනෙක් අපවත් වූහ.
පොලිසිය පවසන්නේ, ජීවිතක්ෂයට පත්වූ භික්ෂූන් අතර විදේශීය භික්ෂූන් වහන්සේ 3 දෙනෙකු ද වන බව ය.
ඔවුන්, ඉන්දීය, රුසියානු සහ රුමේනියානු ජාතිකයින් බව අනාවරණය වී තිබේ.
පොලිසිය පැවසුවේ, උන් වහන්සේලා අවුරුදු 27ත් 47ත් අතර වයස්වල පසුවන්නන් බව ය.
බරපතළ තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා 6 දෙනෙකු මේ වන විට කුරුණෑගල ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන අතර ඔවුන් සියලු දෙනා මෙරට භික්ෂූන් වහන්සේලා ය.
අපවත් වූ භික්ෂූන් වහන්සේලා කවුද?
මෙම අනතුරෙන් අපවත් වූ ස්වාමීන් වහන්සේලා අතර මෙරට භික්ෂූන් වහන්සේලා සිව් දෙනෙක් වූහ.
අද පාර්ලිමේන්තුවේදී සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පැවසූ පරිදි එම භික්ෂූන් වහන්සේලාගේ නම් පහත දැක්වේ.
- මල්වානේගම සමිද්දි හිමි
- නාවලපිටියේ උත්තරානන්ද හිමි
- නුගේගොඩ විපස්සි හිමි
- උඩවලවේ සාන්තසුමන හිමි
ඊට අමතරව, අපවත් වූ විදේශී භික්ෂූන් වහන්සේලාගේ නම් මෙසේ ය.
- ඉන්දියාවේ ධම්මගවේසී හිමි
- රුමේනියාවේ ධම්මරන්සි හිමි
- රුසියාවේ ධම්මරක්ඛිත හිමි
අනතුර සිදුවූයේ කෙසේ ද?
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව තිබිණි.
අනතුර සිදුවන අවස්ථාවේ ඩක්කුව මත භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇත.
භික්ෂුන් වහන්සේලා පිරිස භාවනා කුටි පිහිටි කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් ඩක්කුව යළි පහළට ඇදී යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි.
මේ අතර, ආරණ්‍ය සේනාසනයේ භික්ෂුවක අනතුර සිදුව තිබූ අයුරු පැහැදිලි කළේ මෙසේ ය.
"13 නමක් ගිහිල්ල තියෙනවා. (ඩක්කුව) උඩ නවතින්න ඔන්න මෙන්න තියල පල්ලෙහාට ඇවිල්ල."
ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ, ඩක්කුවේ සිටි භික්ෂූන් වහන්සේලා "මීටර් 150ක් වගේ දුරට උඩින් ගිහින් විසිවෙලා තිබුණු" බව ය.
ඩක්කුව කෙතරම් පැරණි ද?
නා උයන ආරණ්‍ය සේනාසනයේ කොළඹ පිහිටි කාර්යාලයේ ප්‍රකාශිකාවක බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පැවසුවේ, එම ඩක්කුව සහ එහි පීල්ල වසර 20ක් පමණ පැරණි බව ය.
කෙසේ වෙතත්, එය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් වන බවත්, රැහැන කැඩීගොස් ඇත්තේ කෙසේ ද? යන්න සොයා බැලිය යුතු බවත් ඇය සඳහන් කළා ය.
ඩක්කුවක් භාවිත කරන්නේ ඇයි?
නා උයන ආරණ්‍ය සේනාසනයේ සිට භාවනා කුටි අතර කිලෝමීටරයක පමණ දුරක් පවතින අතර, කඳු මුදුනට නැගීම සඳහා පිය ගැටපෙළක් ඇති අතර, ගමන් පහසුව සඳහා ඩක්කුවක් ද ක්‍රියාත්මක වෙයි.
යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහය ගෙන විමර්ශනයක් කරන්නැයි අධිකරණයෙන් නියෝග
ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ 7 නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ තවත් භික්ෂූන් වහන්සේ 6 නමක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහව මහේස්ත්‍රාත් කංචනී නර්තනී අභිමානී සෙනෙවිරත්න පන්සියගම පොලිසියට අද (සැප්තැම්බර් 25 වැනිදා) නියෝග කළාය.
මෙම ඩක්කුව කඩා වැටීමේ සිද්ධියට අදාළ විමර්ශන සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහය ලබා ගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරිය පන්සියගම පොලිසියට නියෝග කර සිටියාය.
මෙම අනතුරින් අපවත් වී සිටින භික්‍ෂූන් වහන්සේගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කරනු ලැබුවාය.
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ මෘත දේහයන් උන්වහන්සේලාගේ භාරකරුවන් වෙත මුදා හරින ලෙසට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගකළ මහව මහේස්ත්‍රාත්වරිය පීලිමතින් දිවෙන ඩක්කුවක් කඩා වැටීමේ ක්‍රියාවලියේදී යම් අපරාධමය වරදක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටද පන්සියගම පොලිසියට තවදුරටත් නියෝග කර සිටියා ය.
මහව මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කරනුරනු ලැබුවේ කුරුණෑගල මැල්සිරපුර පන්සියගම පොලිස් වසමේ පිහිටි නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී පීලි මතින් දිවෙන ඩක්කුවක් හදිසියේ කඩා වැටීමෙන් ආරණ්‍ය සේනාසනවාසීව සිටි භික්ෂූන් වහන්සේ හත් නමක් එම ස්ථානයේදීම අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ තවත් භික්ෂූන් වහන්සේ හය දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පන්සියයකම පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමිනි.
නා උයන ආරණ්‍ය සේනාසනය
නා උයන ආරණ්‍ය සේනාසනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි, එය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ උත්තිය රජ සමය දක්වා අතීතයට දිව යයි.
එය, ශ්‍රී ලංකාවේ පැරණිතම ආරණ්‍ය සේනාසනයක් ලෙස සැලකේ.
අක්කර 5000කට අධික භූමි ප්‍රමාණයක පැතිරී ඇති එම සේනාසනයේ භික්ෂූන් වහන්සේ 200 දෙනෙකුට අධික පිරිසක් නේවාසිකව වාසය කරති.
එය ප්‍රධාන කොටස් 5කට බෙදා තිබේ. ඒ, පහළ ආරාමය, මධ්‍ය කඳුකර කොටස, කොස්පොත කොටස, ආඳාගල කොටස සහ ධර්මායතන කොටස (නා උයන අධ්‍යයන මධ්‍යස්ථානය) යනුවෙනි.
එහි පුස්තකාල පහසුකම් සහ භාවනා කුටි 250ක් පමණ ද තිබේ.