ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරය ගැන අප දන්නේ මොනවාද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඊශ්‍රායලයට ඉරානයෙන් මිසයිල ප්‍රහාර එල්ල වූ අයුරු
    • Author, මැට් මර්ෆි සහ පැට්රික් ජැක්සන්
    • Role, බීබීසී පුවත් - ලන්ඩන්

ඉරානය ඊශ්‍රායලය දෙසට මිසයිල සිය ගණනක් එල්ල කර ඇති අතර, ඇතැම් ප්‍රහාර ඊශ්‍රායල භූමියට එල්ල වී තිබේ. අප්‍රේල් මාසයේදී මිසයිල සහ ඩ්‍රෝන යානා සිය ගණනක් යොදා ගෙන ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානය මේ වසරේ ඊශ්‍රායලයට එල්ල කළ දෙවැනි ප්‍රහාරය මෙයයි.

ඊශ්‍රායල හමුදා නිලධාරීන් පැවසුවේ ප්‍රහාර අවසන් වී ඇති බවක් පෙනෙන්නට ඇති බවත් ඉරානයෙන් "දැනට" තවත් තර්ජනයක් නොමැති නමුත් කොපමණ හානියක් සිදුවී ඇත්ද යන්න තවමත් පැහැදිලි නැති බවත් ය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රහාරයෙන් පසු "ප්‍රතිවිපාක" ගැන අනතුරු අඟවා ඇත.

මේ මෙම ප්‍රහාරය පිළිබඳව අපි මෙතෙක් දන්නා දේ මොනවා ද?

ඉරානයේ ප්‍රහාරයේ පරිමාණය කුමක්ද?

ඉරානය ඊශ්‍රායලය දෙසට මිසයිල 180ක් පමණ එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඒ අනුව ඊශ්‍රායලය දෙසට බැලිස්ටික් මිසයිල 110ක් සහ කෲස් මිසයිල 30ක් පමණ එල්ල කළ අප්‍රේල් ප්‍රහාරයට වඩා මෙය තරමක් විශාල ප්‍රහාරයක් වනු ඇත.

ඊශ්‍රායල රූපවාහිනිය විසින් විකාශය කරන ලද දර්ශනවල එරට වේලාවෙන් ඊයේ ( ඔක්තෝම්බර් 1) 19:45 ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.15ට ) මඳ වේලාවකට පෙර ටෙල් අවීව් ප්‍රදේශයට ඉහළින් ඇතැම් මිසයිල පියාසර කරන අයුරු දිස්විය.

බොහෝ මිසයිල ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති මගින් වෙඩි තබා බිම හෙළු බව ඊශ්‍රායල ආරක්ෂක නිලධාරියෙක් පැවසූ අතර ජෙරුසලමේ බීබීසී වාර්තාකරු පැවසුවේ සමහර හමුදා කඳවුරුවලට පහර දී ඇති බවත් අවන්හල් සහ පාසල්වලට පහර දී ඇති බවත්ය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) සිය මිසයිල වලින් 90% ක් ඉලක්ක වෙත පහර දී ඇති බව කියා සිටිමින් අනාවරණය කළේ, ප්‍රථම වරට හයිපර්සොනික් මිසයිල භාවිතා කළ බව ය. IRGC මූලාශ්‍ර අනාවරණය කළේ ඊශ්‍රායල හමුදා කඳවුරු තුනක් ඉලක්ක කර ඇති බවයි.

බටහිර ඉවුරේ අත්පත් කරගෙන සිටින ජෙරිකෝ නගරයේ පලස්තීන සිවිල් ආරක්ෂක අධිකාරිය පැවසුවේ ඉරාන මිසයිල ප්‍රහාරයක් අතරතුර එහි සිටි පුද්ගලයෙකු මිය ගිය බවයි.

නගර ආණ්ඩුකාර හුසේන් හමායෙල් AFP ප්‍රවෘත්ති ඒජන්සියට අදහස් දක්වමින් කියා තිබුණේ, රොකට් සුන්බුන් වැටීමෙන් වින්දිතයෙකු මිය ගිය බව ය.

අඟහරුවාදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් බරපතල තුවාල කිසිවක් ඊශ්‍රායල බලධාරීන් වාර්තා කර නොමැති නමුත් ඊශ්‍රායල වෛද්‍යවරු පැවසුවේ මිසයිල කැබලිවලින් පුද්ගලයන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි.

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේ ඇයි?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කළේ ඊශ්‍රායලය විසින් තම හමුදා ප්‍රධානියෙකු සහ කලාපයේ ඉරානයේ සහය ලබන සටන්කාමී නායකයෙකු ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

ලෙබනන් අගනුවර වන බේරූට්හිදී සැප්තැම්බර් 27 වැනිදා හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා සහ IRGC අණදෙන නිලධාරී අබ්බාස් නිල්ෆොරෝෂන් ඝාතනය කිරීම එහි සඳහන් විය.

පසුගිය ජුලි මාසයේ ටෙහෙරානයේ දී හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය ගැන ද එහි සඳහන් විය. හනියේගේ මරණයට තමන් වගකිව යුතු බව ඊශ්‍රායලය පිළිගෙන නැතත්, එයට ඔවුන් වගකිව යුතු යැයි බොහෝ දෙනා විශ්වාස කරති.

අඟහරුවාදා මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පුද්ගලිකව නියෝගය ලබා දී ඇති බව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.

ඉරානය ඊශ්‍රායලයේ පැවැත්මට ඇති අයිතිය පිළි නොගන්නා අතර ඊශ්‍රායලය මුලිනුපුටා දැමීමට උත්සාහ කරයි. ඒ අනුව ඉරානය විසින් වසර ගණනාවක් ඊශ්‍රායලයට විරුද්ධ අතුරු හමුදා සංවිධානවලට සහයෝගය ලබා දෙමින් කටුයුතු කර ඇත.

ඉරානය තම රටේ පැවැත්මට තර්ජනයක් වන බව ඊශ්‍රායලය විශ්වාස කරන අතර වසර ගණනාවක් ටෙහෙරානයට එරෙහිව රහසිගත මෙහෙයුම් දියත් කර තිබේ.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කළේ ඊශ්‍රායලය විසින් තම හමුදා ප්‍රධානියෙකු සහ කලාපයේ ඉරානයේ සහය ලබන සටන්කාමී නායකයෙකු ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

මිසයිල නතර කළේ අයන් ඩෝම් පද්ධතිය මගින් ද ?

ඊශ්‍රායලයට නවීන ගුවන් ආරක්ෂණ පද්ධතියක් ඇත. ඒවායින් වඩාත් ප්‍රචලිත වන්නේ අයන් ඩෝම් (Iron Dome) පද්ධතිය ය. එම පද්ධතිය මගින් හමාස් සහ හිස්බුල්ලා සටන්කාමීන් විසින් එල්ල කරන ලද කෙටි දුර රොකට් ප්‍රතිග්‍රහණය කර ගුවනේදීම විනාශ කිරීම සඳහා නිර්මාණය කර ඇත.

අප්‍රේල් මාසයේ ඉරානයේ අවසන් ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී ඇතැම් මිසයිල වලින් ආරක්ෂා වීමට මෙම පද්ධතිය භාවිතා කරන ලද අතර, අඟහරුවාදා එල්ල වූ ප්‍රහාරයේදී එරට "ස්ථර" ආරක්ෂක පද්ධති මගින් අනෙකුත් ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා වැඩි වැඩ කොටසක් සිදු කළේය.

ඩේවිඩ්ස් ස්ලින්ග් - එක්සත් ජනපද-ඊශ්‍රායල් ඒකාබද්ධ නිෂ්පාදන පද්ධතියකි - මෙම පද්ධතිය මධ්‍යම සිට දිගු දුර රොකට් මෙන්ම බැලස්ටික් සහ කෲස් මිසයිල ප්‍රතිග්‍රහණය කර විනාශ කිරීමට භාවිතා කරයි. පෘථිවි වායුගෝලයෙන් පිටත පියාසර කරන දිගු දුර බැලස්ටික් මිසයිල සම්බන්ධයෙන් ගත් කළ, ඒවා විනාශ කිරීම සඳහා ඊශ්‍රායලය සතුව ඇරෝ 2 සහ ඇරෝ 3 ප්‍රතිග්‍රහාක තිබේ.

ඊශ්‍රායලයට නවීන ගුවන් ආරක්ෂණ පද්ධතියක් ඇත, ඉන් වඩාත් ප්‍රචලිත වන්නේ අයන් ඩෝම් (Iron Dome) පද්ධතිය ය
ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලයට නවීන ගුවන් ආරක්ෂණ පද්ධතියක් ඇත, ඉන් වඩාත් ප්‍රචලිත වන්නේ අයන් ඩෝම් (Iron Dome) පද්ධතිය

ඊශ්‍රායලයේ මිත්‍ර පාක්ෂික රටවල් ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද?

මිසයිල ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට එක්සත් ජනපදයේ සහය යළි තහවුරු කළ අතර මෙම ප්‍රහාරය "පරාජිත සහ අකාර්යක්ෂම" එකක් ලෙස විස්තර කළේය.

"ඊශ්‍රායලයේ ආරක්‍ෂාවට ආධාර" කරන ලෙසත් ඉරාන මිසයිල බිම හෙළන ලෙසත් ඔහු කලාපයේ තම හමුදාවන්ට නියෝග කර තිබුණි.

පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ඊශ්‍රායලය දෙසට ගමන් කළ ඉරාන මිසයිලවලට එරෙහිව එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ඩිස්ට්‍රොයර් වර්ගයේ යුද නෞකා මිගින් ප්‍රතිග්‍රහක මිසයිල 12ක් එල්ල කළ බව ය.

"ඉරානයේ මෙම සාහසික ආක්‍රමණශීලී ක්‍රියාව" හෙළා දකිමින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ද එක්සත් ජනපදය විසින් "බහුවිධ" මිසයිල ප්‍රතිග්‍රහණය කිරීම් පිළිබඳ තහවුරු කළේය.

ජෝර්දානයේ අම්මාන් අගනුවරට ඉහළින් පියාසර කළ මිසයිල ප්‍රතිග්‍රහණය කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන BBC විසින් සත්‍යාපනය කර ඇත. අප්‍රේල් මාසයේදී ඉරානය අවසන් වරට එල්ල කළ ප්‍රහාරයේදී ද ජොර්දානය විසින් මිසයිල ගණනාවක් බිම හෙළා ඇත.

එක්සත් රාජධානියේ ප්‍රහාරක ජෙට් යානා ද අප්‍රේල් මාසයේ ප්‍රහාරයේදී මෙන් අඟහරුවාදා දිනයේ ඊශ්‍රායලයට සහය දැක්වීමට සම්බන්ධ වූ බව බීබීසීය අවබෝධ කර ගෙන තිබේ.

ආරක්‍ෂක ලේකම් ජෝන් හීලි වැඩි විස්තර ලබා නොදී කියා සිටියේ, බ්‍රිතාන්‍ය හමුදා “ගැටුම් තවදුරටත් උත්සන්න වීම වැලැක්වීමේ උත්සාහයේදී ඔවුන් තම කාර්යභාරය ඉටු කළ” බව ය.

බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීයර් ස්ටාර්මර් ප්‍රකාශ කළේ එක්සත් රාජධානිය ඊශ්‍රායලය සමඟ සිටින බවත් ඔවුන්ට "ස්වයං ආරක්‍ෂාවට ඇති අයිතිය" පිළිගන්නා බවත්ය.

ඉරාන ප්‍රහාරය හෙළා දැකීමේ ගායනයට ප්‍රංශය සහ ජපානයද තම හඬ එක් කළ අතර තවදුරටත් ගැටුම් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියහ.

පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ඊශ්‍රායලය දෙසට ගමන් කළ ඉරාන මිසයිලවලට එරෙහිව එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ඩිස්ට්‍රොයර් වර්ගයේ යුද නෞකා මිගින් ප්‍රතිග්‍රහක මිසයිල 12ක් එල්ල කළ බව ය.

මීළඟට කුමක් සිදුවෙයි ද?

නෙතන්යාහු අවධාරණය කළේ ඉරානය "විශාල වැරැද්දක්" කර ඇති අතර ඒ සඳහා "විදවන්නට" සිදුවනු ඇති බවය.

“අපට සැලසුම් තියෙනවා, අපි තීරණය කරන ස්ථානය, දිනය, වේලාව අනුව අපි ක්‍රියා කරනවා,” ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි පැවසීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) අවධාරණය කළේ ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ටෙහෙරානයේ ප්‍රතිචාරය “වඩා විනාශකාරී” වනු ඇති බව ය.

මේ අතර, ඊශ්‍රායල හමුදාව රාත්‍රිය පුරා බේරූට්හි හිස්බුල්ලා ඉලක්ක වෙත නව ගුවන් ප්‍රහාර එල්ල කළේ නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නිවැසියන්ට අනතුරු ඇඟවීමෙන් පසුවය.