හලාල් නිවාඩු: 'හෝටල්වල දී අඩනිරුවතින් ඉන්න මිනිස්සු දකින්න මට ඕනේ නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Zahra Rose
"මම හරි ම ආසයි ඉර එළිය විඳින්නත්, විටමින් ඩී ලබා ගන්නත්, අවුරුද්ද පුරා ම මගේ හම දුඹුරු පැහැයෙන් තියා ගන්නත්. ඒ නිසා මම ඇත්තට ම, පෞද්ගලිකත්වය තියෙන, නිවාඩුවක් ගත කරන්න හැකියාවක් තියෙන ඕන තැනකට වගේ ම හැම තැනකට ම යන්න ඇත්තෙන් ම කැමතියි," සාරා රෝස් පවසයි.
එක්සත් රාජධානියේ වෙසෙන මේ ඉන්ෆ්ලුවන්සර්ට, ඇගේ සමේ දුඹුරු පැහැය වැඩිකර ගන්නා අතර ම ඇය අදහන මුස්ලිම් ධර්මයට ද අනුකූලව දිවි ගෙවීමට ද අවශ්‍යව තිබේ.
ඇය රටවල් 30කට වැඩි ගණනක "හලාල් නිවාඩු" ගතකර ඇත.
අරාබි බසින් 'හලාල්' යන්නෙන් අදහස් කරන්නේ ඉස්ලාම් භක්තියෙකුට අවසර හිමි වන දෑ ය. හලාල් නිවාඩු යනු, මුස්ලිම් වැසියන්ට ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හා පිළිවෙත්වලට හානි සිදු නොවන ලෙස යා හැකි ස්ථාන වේ.
පෞද්ගලිකත්වය
ගෝලීය අනුගාමිකයින් සංඛ්‍යාව අනුව, ඉස්ලාම් ධර්මය ක්‍රිස්තියානි ධර්මයට පමණක් දෙවැනි වෙයි. බොහෝ මුස්ලිම් රටවල මධ්‍යම පන්තිය වර්ධනය වෙමින් පවතියි.
බටහිර යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ දිවි ගෙවන දෙවන සහ තුන්වන පරම්පරාවේ මුස්ලිම් වැසියන්ට, ඔවුන්ගේ දෙමාපියන්ට සාපේක්ෂව නිවාඩු ගත කිරීම සඳහා වැඩි ආදායමක් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty image
එය වර්ධනය වෙමින් පවතින වෙළෙඳපොළකි.
"මට නම් සාමාන්‍ය නිවාඩු යි හලාල් නිවාඩු යි අතර ඇති ප්‍රධාන වෙනස තමයි පෞද්ගලිකත්වය," සාරා රෝස් බීබීසී ලෝක සේවයේ බිස්නස් ඩේලි වැඩසටහනට පැවසුවේ, ඇය හලාල් ආහාර සඳහා පහසු ප්‍රවේශයක් ද අපේක්ෂා කරන බව සඳහන් කරමිනි.
මුස්ලිම් සංචාරකයින් එක්සත් කරනුයේ අන් සියල්ලට ම වඩා ආහාර ය. ඔවුනට ඌරු මස් සහ මධ්‍යසාර භාවිතය තහනම් ය.

ඡායාරූප මූලාශ්‍රය, Hacer Sucuoglu Adiguzel
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අසර් සුකුඕග්ලූ අදිගුසෙල්, ඉස්තාන්බුල්හි වෙසෙන 36 හැවිරිදි තිදරු මවකි.
ඇය තුර්කිය තුළ හලාල් නිවාඩු නිකේතන සොයා ගැනීමේ ගැටලුවලට මුහුණපා නැත. නමුත් ඇගේ පවුල ඉස්ලාමීය නොවන රටවල සංචාරය කරන සෑම අවස්ථාවක ම ඔවුන්ට බොහෝ පර්යේෂණ සහ සැලසුම් සකස් කිරීමට සිදු වේ.
"ළඟ දී අපි මැසිඩෝනියාවට යි කොසෝවෝවලට යි ගියා. අපි හෝටලයේ ඉඳන් උදේ කෑම ගත්තා, දවල් කෑමට අපි මත්පැන් නැති කෑම දෙන සාම්ප්‍රදායික තැන්වලට ගියා."
ඇය දිනකට පස් වතාවක් යාච්ඤා කරන අතර ඉස්ලාමීය සාරධර්මවලට අනුගත වීම විශේෂකොට සලකයි.
"හලාල් හෝටල්වල යාච්ඤා කරන්න පැදුරු දෙනවා. අපි සාමාන්‍ය හෝටලයක නම් නවතින්නේ, මම යාච්ඤා කරන්න පැදුරක් අරගෙන යනවා," ඇය පවසයි.
"මට ඕන නැහැ හෝටල්වල දී අඩුවෙන් ඇඳුම් ඇඳන් ඉන්න මිනිස්සු දකින්න. අපට ඕන අපේ ධර්මය සහ සංස්කෘතිය අනුගමනය කරන මිනිස්සුත් එක්ක අපේ දරුවන් තියන්න. මිනිස්සු නිරුවතින් අව්ව තපින වෙරළවලට එයාලව අරගෙන යන්න අපිට ඕන නෑ."
අසර් ඔන්ලයින් ව්‍යවසායකත්වය පිළිබඳව සහ සමාජ මාධ්‍ය පිළිබඳව කාන්තාවන් පුහුණු කරයි. සංචාරක කර්මාන්තය තවමත් හලාල් නිවාඩුවල ඇති විභවය සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන නොමැතියැ යි ඇයට හැඟෙයි.
විශාල වෙළෙඳපොළක්
ගෝලීය මුස්ලිම් සංචාරක දර්ශකයට (Global Muslim Travel Index) අනුව, 2022 වසරේ හලාල් සංචාරක කර්මාන්තයේ වටිනාකම ඩොලර් බිලියන 220කි.

ඡායාරූප මූලාශ්‍රය, Hacer Sucuoglu Adiguzel
ඇතැම් සමාගම් හලාල් සංචාරක ව්‍යාපාරය පිළිබඳ විශේෂීකරණයට ලක්වෙමින් ඇති අතර අනෙක්වා විකල්පයක් ලෙස එය එක් කරමින් සිටියි.
නිවර්තන දූපත් රාජ්‍යයක් වන මාලදිවයින් බටහිර ගනුදෙනුකරුවන් ඉලක්කකර ගත් සුවිශේෂී හෝටල් සඳහා ප්‍රසිද්ධියක් ඉසිළුව ද, දැන් ලොව පුරාවෙන් පැමිණෙන හලාල් සංචාරකයින්ගේ වැඩිවීමක් දකියි.
"මාලදිවයින් කියන්නේ මුස්ලිම් රටක්. ස්වභාවයෙන් ම සහ සැලසුම්සහගතවත්, අපට මුස්ලිම් ජනතාවට මිත්‍රශීලී සංචාරක ව්‍යාපාරයක් තියෙනවා," දිවයිනේ සංචාරක අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා මවුසූම් පවසයි. "ඒ අංශය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් තියෙන්නේ."
සියලු ම හෝටල් ඇඳන්වලින් හතරෙන් එකක් දැන් "ප්‍රජාව පදනම්වූ" හෝ දේශීය සංචාරක ව්‍යාපාරය සඳහා වෙන් කර ඇති බව ආචාර්ය මවුසූම් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty images
නීතියට අනුව, හෝටලයේ කාර්යය මණ්ඩලයට යාච්ඤා කිරීම සඳහා මුස්ලිම් දේවස්ථානයක් සියලු ම හෝටල්වල තිබිය යුතු ය. දැන් සංචාරකයින් ද වැඩි වැඩියෙන් ඒවා භාවිත කරන බව ආචාර්ය මවුසූම් පවසයි.
"බොහෝ නිවාඩු නිකේතනවල කාමර වෙන් කිරීම්, කාමර සැලසුම් කිරීම සහ ආහාර පිසීම අතින් ගත්තා ම මුස්ලිම් හිතකාමී පරිසරයක් තියෙනවා," ඔහු පවසයි.
එරට ආර්ථික නිමැවුමෙන් හතරෙන් එකකට වඩා වැඩි කොටසකට සංචාරක ව්‍යාපාරය දායක වෙයි.
වෙනස් කිරීම්
2023 ගෝලීය මුස්ලිම් සංචාරක දර්ශකයේ ආධිපත්‍යය දරන රටවල් අතර බහුතරයක් මුස්ලිම් රටවල් ය. එහි පළමු ස්ථානය ඉන්දුනීසියාව සහ මැලේසියාව විසින් අත්පත් කරගනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Magdy Rustum
මෙම ලැයිස්තුවට ඇතුළත් වූයේ මුස්ලිම් නොවන රටවල් දෙකක් පමණි. සිංගප්පූරුවට 11 වන ස්ථානය හිමි වන අතර එක්සත් රාජධානිය 20 වන ස්ථානයේ සිටියි.
ලන්ඩනයේ තරු පහේ ලෑන්ඩ්මාර්ක් හෝටලය 1899 වසරේ දී විවෘත කරන ලද අතර දැන් හලාල් මස් පිළිගන්වයි. හෝටල් කාර්ය මණ්ඩලයට මැද පෙරදිග ආගමික හා සංස්කෘතික අවබෝධය පිළිබඳව පුහුණුවක් ලබා දෙයි.
"අපි ළඟ මධ්‍යසාර තියෙන බීම වර්ග වගේ ම මධ්‍යසාර නැති බීම වර්ගත් තියෙනවා. බාර් එකේදී, ඔබට ඉතා ජනප්‍රිය මධ්‍යසාර නොවන කොක්ටේල් එකක් ලබා ගත ගන්න පුළුවන්," එහි මැදපෙරදිග විකුණුම් අධ්‍යක්ෂ මැග්ඩි රුස්තම් පවසයි.
"අපට ඇතුළුවීමේ දොරටු දෙකක් තියෙනවා. හෝටලයේ උතුරු දෙසින් පිහිටා ඇති දොරටුව පෞද්ගලික එකක්.
"අපේ මැදපෙරදිග පවුල් බොහොමයක, විශේෂයෙන් ම කාන්තාවන්, අනෙක් අය තමන්ව දකින එකට අකමැති නිසා එන්නේ උතුරු දොරටුවෙන්.
"කිසිවෙකුට නොපෙනෙන්න ඔවුන්ව කෙලින් ම ඔවුන්ගේ කාමරවලට ගෙන යන විශේෂ සෝපානයක් ද තියෙනවා."
හෝටල් උත්සව ශාලාව මංගල උත්සව සඳහා භාවිත කරන අතර ඉස්ලාමීය චාරිත්‍ර අනුව පිරිමි සහ ගැහැණු අමුත්තන් සඳහා වෙන් කිරීම ද සිදු කළ හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Zahra Rose
නමුත් මෙම සියලු වෙනස් කිරීම් සඳහා මුදල් වැය වන බව සාරා රෝස් පිළිගනියි.
"සාමාන්‍ය නිවාඩුවලට වඩා පෞද්ගලිකත්වය මූලිකකර ගත්ත නිවාඩුවලට ලොකු වියදමක් දරන්න වන බව මම හොඳින් දන්නවා," ඇය පවසයි.
"හැම කෙනෙකුට ම පිහිනන්න පුළුවන් පිහිනුම් තටාකයක් තියෙන, තමන්ටම වෙන්වුණු පිහිනුම් තටාකයක් හෝ බැල්කනියක් නැති නිවාඩු නිකේතනයක් වෙන්කර ගන්න එක හරි ම පහසුයි.
"ඉතින් ඔව්, මම කියන්නේ, මිල අතින් ගත්ත ම අනිවාර්යයෙන් ම වෙනසක් තියෙනවා."












